Pages

Showing posts with label දෙබිඩි අදහස්. Show all posts
Showing posts with label දෙබිඩි අදහස්. Show all posts

Monday, July 1, 2019

කාලය

එක කාලෙක එයා කිව්ව 
මං පරක්කු වැඩියි කියල
දැන් ටිහකට කලින් කිව්ව
මං ඉක්මන් වැඩියි කියල 


Thursday, March 31, 2016

ඉලක්කය සහ සාතන්






දින සිය ගණනකට පෙර
නුඹේ හැම සයිබර් අකුරකම
ඉලක්කය මා යැයි
මම සිතුවෙමි...

මට වැරදින !

මතකයන් සමාන වුවත්
ඔය නුඹ කියන දේවල්
මට නොවන බැව්
දැන් පසක් වී හමාරයි...

ඉන්ද්රජාලික යථාර්ථය
පාලිත යථාර්ථයක් වී හමාරයි...

නුඹ නැවත ඉපදුනත් (Reborn)
පුනරැත්පත්තිය ලැබුවත් (Reincanation)
යළි නොඑමී කීවත්
එන්න ඕනෑ යැයි කීවත්
ඉලක්කය වෙනකකු බවත්
දැන් හොදින් දනිම්...

ඔය පද, සිතුවිලි , සහ අකුරැ
මිසයිල වුවත් ටෝපිඩෝ වුවත්
මිස්ටෙලෝ මල් පදුරැ වුවත්
ස්ටෙප්ස් තණපත් වුවත්
දේදුනු වුවත්
මී පැණි හෝ අතීසාරය වුවත්
මට, එක්කෝ
ඉලව්වක් නැත
නැත්නම්
නිනව්වක් නැත...

නුඹ,
බොරැකාර ලෝකයකි
නුඹේ පැවැත්ම,
කයිරාටික පාංශු ව්‍යුහයකි
ඉතින්,
මා රැවටීම උත්සාහ නො දරන්න...

නුඹ විශ්වය යැයි සිතුවාට
විශ්වය නුඹට වඩා
සෑහෙන්න විශාලය (Universe Vs Nebula)
ඔය අකුරැ, වචන
හැඩතල, පාට
කැන්වස, කඩදාසි කොළ
පිංතූර හා තේ පෝච්චිවලට
මා මුළා කළ නොහැකියි !

*****************************************************

තත්ත්වය මෙසේ තිබියදී
සිවිලිමේ උන් හූනෙක්
බිමට වැටෙයි...
නැට්ට වෙන් වෙයි...
හූනා දිව යයි...
නැට්ට නැටවෙමින් සිටියි.

Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Friday, June 6, 2014

නෙබියුලාවට ඇතුලු වෙමි...


[http://www.theatlantic.com/infocus/2013/12/2013-hubble-space-telescope-advent-calendar/100637/]


තාරකා දොරටුවක් වැනි
ගතික සමතුලිතතාවක් ඇති
පරිවර්තන නිතර සිදුවන
මිහිමත ඇතීනා බඳු
බාඳුරා නෙබියුලාවට ඇතුලු වෙමි
නැවතත් වස්තුව සොයා ඇදෙමි...

තැන්නකි එහි,  ශේෂ කඳු ඇති.

හඳෙන් සාරය උරා බී ඇතිවාක් මෙනි
තරු මලානිකව ගොසිනි...

ලේ බොන්නට තතනන
වැම්පයරයකු මෙන්
කුරුස ගොඩක් මැද මා ද
දණ ගසා ඉන්න හැටි...

මළවුන් අතර සිටින මම
මළවුන් අතරින් ඉතා පහසුවෙන් නැගිට,
අන්ධකාර රාජධානියේ කම්බිලිය
තදින් පොරවා ගමි,
නෑඹුල් පයෝධර තුඩු සොයමින්
කුස්කුටා වැල් අතර පෙරළෙමි...

තැනිතලා තැන්නේ තැන තැන වූ
මඩවගුරු මුදා හරින
මධ්‍යසාර රස දිවට දනවන
ඇඹුල් සුවඳ,
නුඹේ කඳුලුවල
නුඹේ දහදියවල
නුඹේ තරලවල
ලුණු රස
මට මතක් කරවයි...

ඒ ඔස්සේ මං
රාත්‍රිය නැමති සුන්දරියට
පෙම් කරමි.
කුසීත අන්ධකාරය
මට නුඹ නොපෙන්වයි.
එහෙයින්, රාත්‍රිය නැමති සුන්දරියට
මම පෙම් කරමි...

මගේ සිරුරේ වූ
අසාමාන්‍ය ලප මෙන් අසාමාන්‍ය
භූ විෂමතා
මේ තැන්නේදී
මට හමුවිය.
ඇතැම් තැන්වල මුදුන දිය වූ
අවසාදිත පාෂාණ කඳුය,
ඇතැම් තැන්වල
ඇසිඩ් දිය අගල්ය...

මදක් නතර වීමි.

නුඹේ ආම්ලික කයට
මාගේ භාෂ්මික ආශාවන්
එක් කළ ආකාරය
විශ්ලේෂණය කරමි.
නමුත් අවක්ෂේපයක්
නොසෑදුනු ඒ අතීතය
හරිම උදාසීනය...

එක්තරා තැනකදී
නුඹේ උණුසුම් අ'තැඟිළි
මගේ සීතල ස්ථාන වටලන විට
දෙවියන් වහන්සේ විසින්
පිඹින ලද්දා වූ හුළං පොදින්
ගැහැනුන් නොව
මහා දේවදාර වනාන්තර බිහි වූ බව
එකහෙළා මම කියමි...

දකුණින් වූ දේවස්ථානයේ
යාතිකා ගී
වෙරළ'ත මවා ඇති
පොල් කොළ ගෙත්තම්
වැලි ගොඩැලි
රා පීප්ප හා අතුරු කඹ
දෙවියන් වහන්සේ ගැන
ගුප්ත රසයක් මවයි...

මේ නිම්නයේ කොතැනක
ඇකෝඩියනයක් ඇත්ද?

රාත්‍රිය එන්ට එන්ටම
ප්‍රණීත වෙයි,
ඒ හා සමගාමීව ම'සිරුර
දහදියෙන් නැහැවෙයි...

මා දැල් මසන'තරේ
ඉඳිල්කටුවලට හිල්වුණු,
තංගුසට කැපුණු
මගේ අතැ'ඟිළි
නුඹට කෙසේ පෙන්වම්ද?

මා ඇහිඳගත්
ඇකෝඩියනයේ හඬ ගිලිමින්
බල්ලෝ උඩු බුරති.
නිම්නයම දෙදරා යයි,
වැටකේ පඳුරු අතරින්
සාන්ත හෙලේනා දෙව් මැදුර පෙනෙයි...

නෙබියුලාවේ
සොඳුරුම තැන්නේ
ඉසුරුතම කෙළවරට
දැන් පැමිණියෙමි.


*  *  *  *  *  *  *  *  *  *   *  *  *  *  *  *  *  *  *  *

                               තැන්නේ වූ
                               සුළං මෝල අද නැතත්
                               ඇති තරම් තිබේ
                               අදටත් සුළං නං !



Tuesday, March 11, 2014

උත්තානය...



කීවෙහිය නුඹ,
                            '' පුලුවන්නම් ඉන්ට
                            දින සීයක් රෑට
                            මගේ ඇඳ යට
                            කැමති වෙමි නුඹට.''

*  *  *  * *  *  *  *  *  *  *  *

අනූනව වැනිදා රෑ දොළහට
මා පසුතැවෙන'යුරු බලන්ට
නුඹ හිස පෙවීහිය ඇඳ යටට.

*  *  *  * *  *  *  *  *  *  *  *

කීවෙමි මම,
                            '' නුඹ එපා මට.''



Thursday, February 13, 2014

සාරය


   
     (pix - http://fineartamerica.com/featured/the-essence-of-life-gun-legler.html)


භාගික ආසවනයෙන්වත්
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය

උපන්දා පටන් එක් රැස් වූ
සියලුම සෛල තරල
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය

නිතරම ඇඹුල් සුවඳක් වහනය වුණ
සෙමින් පෙරී ගිය දෙනාසා කුහර
යන්තමින් හෝ බුරුල් කළ
නුඹට සොයා ගත නොහී
මා සොයාගත් සාරය

නුඹේ සිරුරේ ද
මගේ මනසේ ද
නුඹේ වටොර අතරේ ද
මගේ ග්‍රන්තික ගැටිතිවල ද
ඉතිරි වූ සාරය

ඔබ, මා අතර වූ
එකම පටලය වූ
රතු පොත් රාක්කය,
ආත්ම පාලනය නොමති කල
මා පාලනය කළ,
මගේ මව් කඳට
අංකුර බද්ධ කළ
ඒ පොත් රාකක්ය තුළ
පුස් පෙනැහැලි දක්වා උරමින්
මා සෙවූ සාරය 
 
සෑම උදෑසනකම
කැටපතින් මුහුණ බලමින්
අදවත් විකසනය වී ඇත්දැයි
නුඹ කුහුලෙන් බලන කලලය,
ඒ විප්ලවය
නුඹේ දිවියේ ලිහී ගිය හදගැස්ම,
ඒ විප්ලවය
බඳුන් ගතකළ අපේ බලාපොරොත්තු,
ඒ විප්ලවය

අප, ව්‍යධියකින් මෙන් එකතුකළ
ග්ලූකෝස්, ප්‍රෝටීන්
මේද අම්ල හා ග්ලිසරෝල්
ඩැහැගත්තේ අපට
ඉහළින් සිටි පිළිහුඩුවන් බව,
ගරිල්ලන් අමතක කළ ඒ
ස්වප්නමය සාරය...
තීරණාත්මක සාරය...

සියල්ල අතහැර දැමූ කළ
මේ අප උන්මත්තකයන් කළ,
එතෙක් පැවති ෆීනෝල මොළ
කුරුවල් කරමින්
සැමගේ ජීවිත ආම්ලික කළ
මෙයයි ඒ සාරය -

                                                               මද්‍යසාරය



Friday, July 19, 2013

පව !


ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...

මලකුණ විකුණුවා මං
රන් ව්‍ ඇට හතරකට...



ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...

රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...


අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...



මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...

ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...




එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?







 







Thursday, May 30, 2013

වෙසක්


ඒයි ! දුයිෂෙන්,

බලපන් ! අපි අර හදපු
වෙසක් තොරණෙ
බල්බ් ඔහේ පත්තු වෙනව....

බලපන් !  දුයිෂෙන්,

මගෙ  මාමයි නැන්දයි දෙන
දන්සැලේ  පෝලිම.


- අල්තිනායි

Thursday, January 3, 2013

ඔයත් හරියට
බම්බලපිටිය දිගට 
කැළඹෙන, පහළින් ගල්ගොඩට
මුහුද... අර මුහුද 
වාගෙමයි මට
කිව්වා ඔබ දවසක...
                                       
 
ඔව් ! ඔව් ! මමත්                                 
ඒ මුහුද වගේමයි.
                              

ඇවිත් හැමෝම
කරන - කියන
කිතිකවන - ලෙවකන
සියලු දේ බලාන
ඉන්නවා... ඉන්නවා...
තොල කට විකාගෙන.


                            වෙන මොනා කරන්නද ?
               
    
 
                                                

Thursday, November 22, 2012



උද්ධමනය
මට
දැනෙන හැටි ...


ඉස්සර
වඩේ

දහයට පහයි !
දැන්
විස්සට පහයි  !

Tuesday, August 14, 2012


පාන්



නුඹ ඉල්ලන්නෙ පාන්
මගේ කඩේ නැත්තෙත් පාන්
එසේනම්  කළ යුත්තෙ තමන්
තියෙන තැනකින් ගැනීමයි පාන්...

හැබැයි,

අර කඩේ නෑ පාන්
කියන එක නවතපාන් !

Friday, July 27, 2012

ගැහැනිය සහ පිරිමියා


පිරිමියා සහ ගැහැනිය
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.

අස්වාභාවිකව

වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.

පිරිමියා මහෞෂධය.

ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.

නමුත්,

ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.

කිසි දිනෙක,

ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.

උහු ඒවා වනති, හදති.

විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.

පිරිමියා වරදක් කළොත්

එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.

ගැහැනිය වරදක් කළොත්

එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.

ගැහැනිය තමා ගැහැනියකැයි

තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.