Pages

Showing posts with label මුහුදයි... මමයි... Show all posts
Showing posts with label මුහුදයි... මමයි... Show all posts

Wednesday, April 9, 2014

සුනාමියට පස්සෙත් මං තාමත්...

              මං දැන් මැරෙන්න බයයි.
ඒත් පොඩි එකා ජීවිතේට එන්න කලින් එහෙම නෑ. කෝච්චියේ එල්ලිගෙන යනවා. නවත්තන්න කලින් කෝච්චියෙන් පනිනවා. අද්දන බස් එකේ එල්ලෙනවා. ගැංසි බැහැල මරා ගන්න යනවා. ඒත් එක්කම ගැඹුරු මුහුදෙ පීනනවා.
අමු ජීවිතේ ගත කරන කවුරුවත් මැරෙන්න බය නෑ මං හිතන්නෙ... සුනාමියත් මට මුහුද ගැන මාරාන්තික හැඟීමක් ගෙනත් දුන්නා.

            සුනාමියට පස්සෙත් මං තාමත් ආස අළු පාට හාෆ්ශීට් කොළයි ඔරෙක්ස් පෑනයි අරගෙන වැල්ලෙ ඔරුවකට පිට දීල වාඩිවෙලා හිතේ තියෙන හැමදේම ඒවගෙ ලියන්න. රැයක් දවාලක් නෑ. කොටින්ම වඩදිය බාදිය ගැනවත් දැනීමක් නෑ. ඒ අතරෙ නැව් සිය ගාණක දහස් ගණන් එළි මා දිහා බලන් ඉන්නව...

           වැස්ස වෙලාවට මුහුදෙ නාන එක, එක අතකට භයානක වුණත් ඒක හරිම ආස්වාදජනක වැඩක්. හිරිපොද සිරි සිරි ගාල මුහුදට වැටෙන කොට හරිම අපූරුයි. විශ්වාස කරන්න ඒ පුංචි වැහි බිඳු වෙරළට වැටෙන කොට හීන් හඬක් එනවා. ඒ වගේමයි මුහුදු රළවලට වැටිල බිඳෙන කොටත් අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන හඬකුත් පෙනුමකුත් රළට එනව...

          වැස්ස වහිනකොට මුහුදු රැළි තරමක් උසට නැගෙනවා. සාමාන්‍යයෙන් අපේ ඉනවටක්  තරමට ගැඹුරක ඉන්නවනම් කරවටක් ගිලෙන තරමට ඉස්සෙනවා. ඒ වගේම රැළි කැරකෙන්නත් පටන් ගන්නවා. මං ඒ සිදුවීම්, ඒ කියන්නෙ මුහුදට වහින සිදුවීමට කියන්නෙ "තෝර වැස්ස" කියල. මොකද අම්ම සමූපකාරෙන් ගෙනාපු තෝර පරිප්පු ටික ගොට්ට ලිහල වතුර එකට හලනකොට එන සද්දෙ තමයි වැහි බිඳු මුහුදට වැටෙනකොට එන්නෙ...

          ගොඩගසන රැලල්ක් රැල්ලක් ගානෙ මුහුදු වෙරළෙ මුහුද හා ගැටෙන දාරය කන්‍යාවක් වෙනව කියල මට හිතෙනව. හැම අලුත් රැල්ලක්ම ඇලුත් වැලි අහුරු ගණන් අරන් තමයි ගොඩට එන්නෙ. ඈත පළාත්වල මිනිස්සු ආසාවටත්, කොහේහරි ඉන්න කට්ටඩියෙක් ගුරුකම්වලටත් මේ කන්‍යා මුහුදු වැලි අරගෙන යනවා. අපේ සීයත් ඉස්සර දවසක කන්‍යා මුහුදු වැලි ගන්න ඕනෙ හැටි නුවර පුංචි අම්මට කියල දුන්න.රැල්ලක් ඇවිල්ල ගියාට පස්සෙ ඒ රැල්ල නොපාගා මුහුද පැත්තට හිටගෙන ඒ කියන්නෙ ගොඩබිමටත් මුහුදටත් පිටු නොපා පැත්තට හිඳගෙන ඉන්න තැනම කකුල් තියල කකුලට අඩියක් විතර ඉස්සරහ තියෙන වැලි තමා ගන්න ඕනෙ...

කොහොම වුණත් මට මුහුදත් එක්ක තියෙන මතක සටහන් අප්‍රමාණයි.

පොඩි කාලෙ ඉඳන් මං ඇඳපු බොහෝ චිත්‍රවල තේමාව වුණේ එක්කෝ මුහුදු වෙරළක්. නැත්තම් වැසි දිනයක්. පළමු තේමාව යටතේ ඇඳපු චිත්‍රවල මුහුද දෙසට ඇදී ගිය, එකිනෙක හා හරහා ගිය (වැඩි කිරීමේ ලකුණ මෙන්) පොල් ගස් 5ක් 6ක් තියෙනව. ඔරුවක් තියෙනවා. කාක්කො දෙතුන් දෙනෙක්
(අද ඇන්දනම් වැහිළිහිණි ) ඉන්නවා. ඔය අතරෙ මුහුද දෙස බලාගෙන සිත්තරාට (මට ) පිටුපාගෙන දිග කොණ්ඩ කරලක් තියෙන, චීත්ත ගවුමක් ඇඳගත්තු කෙල්ලෙක් පොල් ගසකට හේත්තුවෙලා ඉන්නවා...

ඒ චිත්‍රය (චිත්‍ර ) කාලානුරූපීයව ලස්සනයි. එත් අවාසනාවකට ද්විමානයි...








Friday, November 1, 2013

ප්‍රතිබිම්බ






හොඳට ඉර පායපු දවස්වලට කලපුවට වටෙන ප්‍රතිබිම්බ හරිම අපූරුයි. කරු මුල්, කයිරු මුල් අතරෙ කදුරු ගෙඩි පාවෙමින් තියෙන මොහොතක ටික කාලයක් ආපස්සට යන්න මට ඕන වුණා.
ඒ කිවුල් වතුර, ප්‍රතිම්බ සහ ජීවිතය ගැන ගොඩක් දේ මගෙ ඔළුවට ගෙනත් අතහැරියා.  මේ, ඒ දේවල්වල සංක්ශිප්තයක්.



දිය නිසල නම් ප්‍රතිබිම්බ නිසලය.
දිය සසල නම් ප්‍රතිබිම්බ සසලය.
ඇතැම් විට නිසල සෙවණැලි අලංකාරය,
ඇතැම් විට සසලව බිඳීයන සෙවණැලි ඇලංකාරය...

තාත්වික මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ වෙයි.

ජලයේ ඇති ප්‍රතිබිම්බ
ගැඹුරුය, ගුප්තය.
කොයි මොහොතේ හෝ
කැළඹී බිඳී යා හැක...

එක් අතකින්,
ජීවිතය පුරාද ප්‍රතිබිම්බ බොහෝ වේ.

සමහරක් උඩුකුරුය,
සමහරක් යටිකුරුය.

ජීවිතය තුළ
වරෙක හමුවන්නේ
උත්තල දර්පණය,
වරෙක
අවතල දර්පණය.

සෙවණැලි
ආලෝකය ඇති හැමතැනම ඇත.
වරෙක වතුර මත
වරෙක සයුර මත
විවිධ වස්තූන්ගේ
ප්‍රතිබිම්බ වැටී තිබෙනු පෙනේ.

සමහරවිට අපි
අමාරුවෙන්
තලයක
යම් මතුපිටක
ප්‍රතිබිම්බයක්
තනාගන්නට දඟළමු.
එය
අසාර්ථකවීද
අපි මානසිකව වැටෙමු,
ජීවිතය දුකම යැයි සිතමු,
ජීවිතය යනු
කිසි දිනෙක
ප්‍රතිබිම්බයක් ලබා ගත නොහැකි
වස්තුව'කැයි සිතමු.


වෙන'තකට,
අපේ සෙවණැල්ල
අපේ ප්‍රතිබිම්බයයි.
උඩු හෝ යටිකුරු ප්‍රතිබිම්බය
අදාළ වස්තුවටයි.
නමුත් සෙවණැල්ල
අප ම ද?


තව'තක්
ප්‍රතිබිම්බය හැදෙන්නට
ආලෝකය අවශ්‍යය.
දර්පණයක් අවශ්‍යය.
වර්තනයක් අවශ්‍යය.

අදාළ,
නාභි දුරක් තිබේ.
ප්‍රතිබිම්බ දුරක් තිබේ.
වස්තු දුරක් තිබේ.

නාභි දුර වෙනස් වනවිට
වස්තු දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ ස්වරූපය වෙනස් වේ.


එමනිසා ප්‍රතිබිම්බ වෙනස් වේ !




මෑත කාලීනව හැදුනු මගේ ප්‍රතිබිම්බ බොහෝ ඉක්මනින් බිඳී ගිය අතර ඊට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ මගේ වැරදි අවබෝධයයි. විශ්වාසය නමැති ගල් කුල හරිම බර බව බිඳී ගිය ඒ ප්‍රතිබිමබ මා හට කියා පෑවේය. කොහොමත් බිඳෙන ප්‍රතිබිම්බ ඉන් විගසින් බිඳෙන බව මට පසක්`විය.

Friday, September 20, 2013

මෝයට කිලෝමීටර භාගයක් දුරින්...


ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.


කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
          "මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
           එක්කො,
           1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
           නැත්නම්,
           2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "

මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....

ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.


ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
          "3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."

මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින්  රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.


ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.




ප. ලි.
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]







    

Tuesday, September 10, 2013

පළිගැනීම

                   
 16.08.2013
කළු ගංමෝය...
රාත්‍රී 10.00

තරු අඩු, කණාමැදිරියන් වැඩි රැයක්!

                යෙ අඳුර වැටීගෙන එන වෙලේ මං ගියා මුහුදු වෙරළට. අවුරුදු ගාණකට කලින් ඇය මා දමා ගිය තැනට. මං ගියෙ හිස් අතින්, කොන්ඩෙ පීරමින්. මුහුදු හුළං සැරට මගේ කෙස් එහෙ-මෙහෙ වෙන්න පටන් ගත්තා. එදා, ඈ මා දමා ගිය දවසෙ මට පේන පේන හැමදේම එහෙ-මෙහෙ වෙන්න ගත්ත. කෙස් කෙළින් වුණා. සම මතුපිට තිබුණ රෝම ස්තරය පිච්චෙනව වගේ දනුන. ඒ ගඳ ආව.
                එදා, මහ මුහුදට හොඳටම තරහ ගියා. එකක්, එයාගෙ වතුරෙ ලුණු රහ ගැන එයාට ලැජ්ජ හිතුන හින්ද. අනික, වෙනද වගේ මං මුහුද දෙසට පීනගෙන ගිහින් එයාගෙ කන්‍යාභාවය අහෝසි නොකරපු නිසා. එදා, මහ රෑ වඩදිය ගලනකං මගේ ඇඟිළි තුඩුවල කන්‍යාභාවය නං අහෝසි වුණා.මගේ කටේ දත්වලින්. අන්තිමට අඟිළි තුඩු ඉදිමෙනකන්ම.
            අවුරුදු 13ක් ගත වුණා. අද වනතුරුත් මහ මුහුද, එයාගෙ කොට සායවත් මගේ හංපඩ ඩෙනිමවත් දක්කෙ නෑ.
                   අදත් මුහුදට හොඳටම තරහ ගියා. මොකද, මං එයාව බලන්න හිස් අතින් කොන්ඩෙ කසකස ගිය නිසා. ඇය හිතුවෙ මං ගල් බෝතලයක් හරි මොනා හරි රට බීමක් අරන් එයි කියල. ඒ වැඩේ වැරදුනා. වෙනදට වඩා සැර රැළි මගෙ ඔළුවටත් උඩින් ගියා. කන් දෙකම වැලිවලින් පිරුණා. වෙනද කකුලෙ හැපිච්ච ගල් මාළු, සිප්පි වෙනුවට ඉකිරියොයි, බෙලි කටුයි මට වද දුන්නා.






කමක් නෑ...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...








 
  

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.