Pages

Showing posts with label නුඹට.... Show all posts
Showing posts with label නුඹට.... Show all posts

Friday, December 6, 2019

කාලය හරහා වූ ගමන

මේ ලියන හැමදේකට
පණ ‌දෙන්න පුලුවන් නුඹට...

ඒ මතකයට
ඒ අතීතයට එරෙහිව,
මියැදෙන්න බැහැ ‌නොවැ මට.

වළාකුලු අතර ක්ෂණයකින් සැඟව ගිය
හඳුනාගත් ආකාශ වස්තුව
ඔබම විය,
නුඹ හඹා යා හැකි භෞතික සුතුර
තවම මා ‌සොයා ‌ගෙන නැත.

කාලය හරහා ගමන
එතරම්ම ප්‍රිය උපදවන්නක් බව,
දිනෙන් දින මට කියා ‌දෙයි නුඹ.

ඒ අතරෙදි පසුවන
මළ තාරකා, කලුකුහර
ඉපදෙන නිවෙන නිහාරිකා
නෙබියුලා, ක්ෂීර පථ මත
මට පාර ‌සොයා ඒමට
නුඹ දැමූ ‌බොරලු කැට ‌බෝ තිබිණ.

මහා පිපිරුමට පසු
අතුරුදන් වූ නුඹ ‌සෙවීමට
හබල් දුරේක්ෂයටවත් ‌
නොහැකි වූ නමුදු
නුඹ නිදන, වැළපෙන තැන
ම' දුරේක්ෂයට දර්ශනය වන බව
නුඹ පියා දන්නෙහිය, 
                                               (මගේ තරු විද්‍යාවට 
                                                කෙනහිලූ නුඹ පියා
                                                ගන්නෝරුවේ ‌දෙවැට මැද දී
                                               මගෙන් ඒ ගැන විමසීය)


එක්තරා වල්ගාතරුවක් මත
දියණියකගේ ‌පෙකණි වැලක් වූ අතර
ඇය නිල්වන් ඇස් ඇත්තියක් බව
ඒ අසල වූ ‌බෙහෙත් තුණ්ඩුවක
සටහන්ව ඇත,
පියෙකුට දියණිය ගැන වන සින්ඩ්‍රෝමය
එය මට මතක් කළ බව සහතිකය.

විශ්වය, මණ්දාකිනිය, ක්ෂීර පථය
යනු කුමක්දැයි මා ඇසූ කළ,
රුධිර සංසරණ පද්ධතිය ‌මෙනියි
මිමිණූ නුඹ*,
මතකයට නැංවුණ දාට
හිඳින තැන ‌සොයාගෙන
කාල-හෝරා යන්ත්‍ර නැතිව
ගමන් කළ හැකිය මට.

ලෙඩ වුණු ‌බෝනික්කන්
පිරමිඩ තුළ දඟලන අතරතුර
සාතන් ද ඇපල් ගස් මුල 
හැව අරින ‌වෙලාවක
ඇයි මට
නැගෙනුයේ නුඹ මතකයට?

තරුවැලක ‌රෝලකෝස්ටර් පදින නුඹට
පන්නල ‌රේස් පදිමින් අත් පා දන්දුන් මා
දැන් මතක නැතිදැයි අම්මා මගෙන් අසන'තර
අධිවේ‌‌ගෙන් ඇස්ලේටරය පාගා යන
පරඬලක් ‌මෙන් වූ ම'සිරුර
හාතවාරිය වැල් ‌මෙන් හැඩපලු ‌‌ගෙතුණු
මගේ ‌කේසාවැටිය
කාලය හරහා යන ගමනේ
ප්‍රතිරෝධය වැඩි කළහ....

හොයමි- යමි-යළි ‌හොයමි-එමි-එබෙමි-‌හොයමි-ඉව කරමි-‌හොයමි-තැවෙමි-දකිමි-ගනිමි-විනිවිදමි-ඉඹිමි-හුස්ම පිඹිමි-වඩා ගනිමි-ඉඹිමි-අඬමි-ඉඹිමි-යමි-පියඹමි-හුස්ම පිඹිමි-අඬමි

--------------------------------------------------------------------------------------------------------------

හොයන්නට ‌‌බොහෝ ‌දේ ඇතත්
ඉතිරිව ඇති රික්තයේ
අදටත් මගේ හදවතේ පැතුම
"නොසිටීවා කොතැනකවත් නුඹ ‌
මේ  මහප්‍රාණ සක්වලේ!"


(*උරුමය ද ‌නොවුණු නුඹ)

   

Monday, July 1, 2019

කාලය

එක කාලෙක එයා කිව්ව 
මං පරක්කු වැඩියි කියල
දැන් ටිහකට කලින් කිව්ව
මං ඉක්මන් වැඩියි කියල 


Monday, April 25, 2016

දැන් මගෙ අතත් පිච්චෙන්න පටන් අරන් ...


නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?

හරිම අපූරැයි එය...

"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත 
පිච්චෙනවාමයි කොහොමහරි ... "  

නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....

අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...

ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...




* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *




අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...


අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම  
නියමතයි පිච්චෙන්ට 
අද ඉදන්...





Wednesday, March 16, 2016

පණ ඇති පිනි

"පින්නටත් පණ තියෙනවා..."
මට මතකයි නුඹ කීවා,
මං ඇහුව ඇයි ??                     


"ඒකනෙ පින්නෙ හිටියම
ඔයාගෙ ඔළුව පොගල පොගල
සෙම හැදෙන්නනෙ !"                  
පස්සෙ, නහය උඩට ඇද ඇද
තමයි මා එක්ක කතාව
නැත්තං
ලේන්සු දෙක තුනක් විතර
මගේ තමයි ඉවර 

* * * * * * * * * * * * * * * * * 

ඇත්තටම පින්නට
පණ තියෙනවා 
දැන් දැන් මට දැනෙනවා...            

ඒ කාලෙ මට
හචිස් යනකොට
නුඹ අංකයක් කීවා !
දැන් මගේ ඔළුව
පොගලා හචිමක් යනකොට
මං උවමනාවෙන්ම                         
අංකයක් මතක් කරනවා !            

හැමදාම පාන්දර
හිතාමතාම මං 
පින්න යටට යනවා
සමහර පිංතූර මතකයන්ට
පණ ඒවි කියලා...                         

* * * * * * * * * * * * * * * * *

නුඹේ සිතුවම්වලින්
නිතරම ඉහිරැනේ පිනි,
මගේ කවිවල 
නුඹ හෙව්වෙම පිනි...                   

* * * * * * * * * * * * * * * * *

"ඔයාගෙ හිතත් හරියට
පිනි වැටුණු චිත්රයක්"

උදැහැනැක්කෙම
මං දුවන කොට
ඔබ මට ජර්සියක් විසිකළා
ජර්සිය ඇතුළෙ
මගේ හිස බොදවුණු
සිතුවමක් තිබුණා...                     

මට තාම මතකයි
අපි දෙදෙනාටම අමතකව
පින්නෙන් පෙගුනු
මගෙ මුද්දර පොතයි
තව රතු පොත් දෙකකුයි
අපේ ඇස්වලට කදුළු ගෙනාවා...    
ඒ පොත්වල තිබූ ගොඩක් දේ
පෙගිලම ගියා,

ඉතින් පිනිවලට පණ තියෙනවා!


* * * * * * * * * * * * * * * * *

දැන් නුඹේ කදුළුත්
පිනිදෝ කියා හිතෙනවා...

* * * * * * * * * * * * * * * * *

නුඹ කොහේ හිටියත්
නුඹේ හිසටත් කොණ්ඩ තුඩුවලටත්
කන්පෙතිවලටත් නළළ මැදටත්
පිනි බානවා ඇති,
සමහර විට
මතක දියවෙයි කියා
අර පන් තොප්පියම
නෑ!
වෙන හිස්වැසුමක් 
දැන් නුඹ දානවා ඇති.                   













Tuesday, February 23, 2016

නගා... (මැරූ අල)



මට නුඹ සමග
ගත කළ හැකි කාලයට
කල් ඉකුත් වීමේ දිනයක්
හා තැනක්
දැන් නියම වී ඇත...

ඔබත් මාත් අතර
කිසිවක් නොවූවායි
කියන්නට නොහැක...


එය ද්රව්යාත්මක ද ?
එතරම්ම 
ද්රව්යාත්මක ද ? 


නුඹට මාගෙන් ඇත්තේ
උපස්තරික වටිනාකමක් පමණි
ආදරණීය වටිනාකමක් නොවේ...

මා නුඹට නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?
අවර්ණ අජීවී නීරස
නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?

මේ කාර්තුව තුළම
නුඹ තව උපස්තර සොයා ගනීවි
එහෙයින්
තවදුරටත් මම
විප්ලවකාරයකු නොවෙමි....

නුඹේ එක විඤාණික සිතුවිල්ලකවත්
මම නැති කොට
තවත් නොඋනන
එවන් සිතුවිලි ගැන සිතීම
නිෂ්ඵලය...

ආදරය ශක්තියක්
නුඹට එය තේරේවි
මා අහිමි වූ පසු,
අවැසි කෙනෙකු ලැබෙනතුරැ
මම එය ගබඩා කර තබමි...

ආදරය එහි අර්ථයෙන්ම
අසම්මතයක්
මා නුඹට පැවසූ පරිද්දෙන්ම,



.




මම නුඹ සමග
ගත කළ කාලයට
සංකල්පයක් අර්ථයක්
හා නමක්
නොමැති වී ඇත...





Wednesday, February 17, 2016

පෙම් කරන ගස්



කාලයාගේ ඇවෑමෙන්
අප සිටවූ
ප්රසිද්ධ, නිවුන් පොප්ලර් ගස්
හැඩි දැඩි වී ඇත...

සියුම් ජල බිදිති වාෂ්ප කරන අතරම
සිහින් හඩින් ගී ගයන අතරම
අකුණුවලට තිගැස්සෙමින්
අපේ මතකයන්ගේ දෝංකාර
සහ
ප්රේමනීය සිපගැනීම්
සගවාගෙන සිටිති...

දැන් බොහෝ දෙනා පැමිණ
මේ ගස්වලට
අයිතිවාසිකම් කියති...


* * * * * * * * * * * * * * *
අතහැර දමමි 

* * * * * * * * * * * * * * *

නුඹ නැතිව මට තනියෙන්
ඒවා රැකිය නොහැක...

නමුත්

වාසනාවක මහත !

අප දෙදෙනා
තවත් නිවුන් පොප්ලර් ගස්
සෑහෙන ගණනක් සිට වූ බව
කවුරැත්ම දන්නේ නැත !





Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Wednesday, January 20, 2016

අබ මල් රේණුවක්...






නුඹෙ, තෙතැති
නෙත් කෙවෙනි මත
වැතිරෙන්න මට
ඉඩහරින්න,
දහස් වර දෙඩුවා
මතකද නුඹට....

නුඹ දකින හැමවිටම
ප්‍රේමයම මතක් වන ලෙසට
වෙනස් කර ගතිමි
අකීකරැ සිත මම...

මට වැරදුනාවත් ද
නුඹගෙන් එසේ අසන්නට
මා ලාච්චුවකට සමාන කළ
අවැසි විට අරින
අනවැසි විට වසන...

උන්මත්තක ද මම
බොල් නදක් ඇති
හදක් ඇති නුඹ
මට කූටාලු වෙයි සිතන්නට...

* * * * * * * * * * * * * * *

වැස්සක් වහින විට
පියස්සට පියඹති
හැම කුරුල්‌ෙලාම,
එත් ගිජුළිහිණියෝ
පියඹති වළාකුළෙන් ඉහළට...
එහෙව් ගිජුළිහිණියකු
වන්නට අවැසිය මට....


Tuesday, December 9, 2014

ගැස්ම, තිගැස්ම, කටගැස්ම

මේ දැනුදු මම
ඔබ කපා කොටා
යළි, පිළිසකර කරමින් සිටිමි...

වේගයෙන් ගැහීගෙන ගැහීගෙන
ගිය නුඹේ පයෝධර
මා බාඳුරා ගොටුවට
ඇද දැමීමට සමත්කම් පෑහ...

ඒ තිගැස්ම !
ඒ සද්දය !
ඒ රස්නය !

නුඹේ තෙත බරිත ළය
මගේ ලේ කැටි ගැස්වීය.
වැදුනු තැන ලේ ගල් විය.
දැනුනු කල ලේ ගල් විය.
ඒ අතරේ ඒ රවුම්
මොනවාදෝ ඉල්ලීය...

+  +  +  +  +  +  +  +  +  +  +  +  +  +


කොටයක් ලයිට් කණුවකට වැටී
කණුව වතුරවලකට වැටී
විදුලිය කාන්දු වී
තිබුණත් පාර අවහිර වී...

ඒමට, ආපසු නොහැරුනෙමි.
සියල්ලම අතහැරෙන
ඒ හැරවුමට වඩා,
එකක් දෙකක් පමණක්
හෝ ඉතිරිවන
දිගු ගමන යාමට
මම ආසා කරමි...




Thursday, November 13, 2014

නුඹ ඉවරයි ! තිබ්බ ලස්සන හූරලම අරගෙන




( ලාවා සහ පෑන් කේක් යන සිතුවම ගසා ඇති ප්‍රධාන කන්‍යා සොහොයුරියගේ ලැගුම්හලට පෙනෙන කන්‍යාරාමය)

අදටත් මතකයට නැගෙන
නුඹ ලැග සිටි ඒ කන්‍යාරාමය...

ඇත්තටම එය
ශුද්ධ වූ පවුලේ එකක්මදැයි
එකල මට ලොකු ගැටලුවක් විය...

                                        (ගඟත් මුහුදත් අතර සමාන්තරව වැලි පරයක් පිහිටා ඇති දර්ශනයක දුර රූපයක්)
 
කන්‍යාරාමයට නුදුරු බිමෙක
ඇකේෂියා ගහක් යට හිඳ
ගං මෝයට එක එල්ලේම
පෙනෙන වෙරළේ පොප්ලර් ගස් දෙකක්
වවන හැටි නුඹ කීය...

(දුම්රියක් ගමන් කරයි )

අසලින් ගලායන ගං දියට
පා පොවා හෙමිහිට
දුයිෂෙන් කියවමින් ඔබ සිටින විට
මා සිටියේ කුරුලෑවලට
බෙහෙත් පෙත්තක් බොමිනි...                                                                       (කෙකටියා පඳුරු අතර දිය නයෙක්)
                                                                                                                                       
                                                                                                                                       (නුඹ කුතුහලෙන්)
" බෙහෙත් පෙත්තකට
හැඩයක් ඇත්තෙ ඇයි?

මගේ ලෙඩේට හදපු                                                                                        (නුඹ හිනැහෙමින් කියයි)
නියම හැඩයෙන් යුතු
බෙහෙත් පෙත්ත ඔබමයි "                                                                 

 (බිත්ති ඔරලෝසුවක තත්පර කටුව තත්පරයකට කිලෝමීටර දහයක වේගෙන් දුවයි.)




(2000 වසරේදී කළුතර ටවුම පෙන්වන රූපයක්. පරණ බස් නැවතුම.)

කැරළි ගහන වතුර බිංදු
බස්  නැවතුමෙ බිත්ති මතට
මා අලවා ඇත
නුඹ මා කියන කිසිවක්
තකන්නේම නැත.

මගේ නෙත් උතුරටද
නුඹේ නෙත් දකුණටද                     
හැරී වෙන්වී                                                               (කාගෙන යමින් සිටි නියපොත්තක් නියමලෙන් කැඩී වෙන්වේ.)
දහහතර වසක් 
ගතව ඇත...

නුඹව එකතැන තබා
මම වයසට ගියෙමි...
සඳට පැණීමට තැතනුවෙමි...                                                                              (සඳෙහි සමීප රූපයක්)   
ගාඩ් පෙට්ටියේ
ටෝච් එක ඇල්ලුවෙමි...                                                                         (6.46 අලුත්ගම මන්දගාමී දුම් රිය )


නුඹ එතැනමයි සිතා
හෙළයන්ගේ වාරි මර්ග සැලසුම්
මා අධ්‍යනය කරනවිට,                                                                                         (කුට්ටම් පොකුණ)
නුඹ නගරයේ කාණු පද්ධතියට
සැලසුම් අඳිමින් සිට ඇත...                                                          (හතර වැනි හරස් වීදිය වාරිමාර්ග සැලසුම් සටහන්)


මා පොල්කට්ටෙන් ද
නුඹ කහ වතුරෙන් ද
නාන අතරේ කාලය ද
ගතවිය...                                                                                (යතුරක් නැති දොර යතුරු හිලක්)


කාලාන්තරයකට පසුව
අහම්බෙන් අප මුණ ගැසුන
බිම්තඹුරු පිරි කසකස්තාන මිටියාවතෙන්                                                             (සුවිසල් කසකස්තාන තණ බිමක්)
අහුලාගත් කරදාසියක මා ලියූ යමක්                                                         (පින්නෙන් පෙඟුනු රෝස පැහැ කරදාසියක්)
ඔබට කීමට සිතෙයි...



*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *  *

නුඹ දැන් හරියට
ග්ලැසියරයක වැදී බිඳී ගිය
මුහුදුබත් වූ
නෞකාවක් වැනිය...





 







 

Friday, September 20, 2013

මා ධාරාණිපාත වරදක් කළා...

1 ට වඩා 2
විශ්වාස කළා,
1 ට පස්සෙ 2 
කියල
අමතක කළා.

...කළා වරදක් ධාරාණිපාත මා
















Wednesday, September 4, 2013

අතහැර දැමීම...

නිල්පාට පියළි ඇලවූ
කඳු පන්තියේ
උසම කඳු මුදුනට ගිහින්
බිමට දමන්නට කලින්,
තව වරක්වත්
සිතන්නට තිබුණා නුඹට
ඒ වීදුරු බෝලය ගැන, හිතින්...


සුමට වීදුරු හදන්නෙ
රළුම රළු
කළුම කළු
උණුම උණු
වැලිවලින් කියල
නුඹට අමතකයි.

ඒක එහෙමයි,
පස්සෙ ලස්සන ගොඩක් දේ
හදන්න කලින්
අමුයි, රළුයි, ගොරහැඩියි...

කාගෙ ආරකින් ද මන්දා,
නුඹෙ වැඩේම උනේ
වීදුරු බෝලෙ
නාභිය සෙවීමයි...
ඒ නාභි දුර සූත්‍රයක දමාගෙන
ළතැවුලේ බර සෙවීමයි...
බැරිම තැන,
බිඳ බලන්නට තැතනීමයි...

දැන් තේරෙනව ද?
අපාරගම්‍ය නො'පණ
වීදුරු බෝලයකට වුව ද
ගැහෙන හදවතක් තියෙන්න පුළුවනියි...




සුදු ආලෝකය
වෙන් කළත්, නො'කළත් වර්ණ හතකට
පාට විභේදනය කළත් නුඹේ හැඟීම්වලට
ඒ වීදුරු බෝලය
දන්
කුඩු වී ගිහින්...








Friday, August 30, 2013

ඔප්පු කිරීම !

උනා දැමීමි මගේ
කොටු කොටු කමිසය විගස,
තැබුවෙමි ම'ළය
මැෂිනය මත
හදවතේ ෆොටෝ කොපියක් ගන්ට...

ඒ විදින කිරණ
පපුව පසාරු කර
නොයන බැවින්
තැබුවෙමි වෙන මැෂිනයක
පපුව හරහා විදුලිය ගොස්
ඇතුළෙ දේ පිටට පෙන්වන...

අදහාගත නොහැකි තැන
ගල් ගෙඩියක් ඇති බව
හද තිබිය යුතු තැන,
පිහි දෙකක් ගෙන
විවර කෙරුවේ
මගෙ පපු කැවුත්ත...

මේ බලන්න,
අනේ! මගෙ හදවතිනුත්
උණු උණු ලේ
විදින අපූරුව.

..............................................

දැන්වත් සතුටුනම්
පෙනහැලි, අග්න්‍යාශය
අක්මාව සහ ඉතුරු
පොඩි දේවලුත්
එළියට ඇද
එම්බාම් කරන්න
ම'සිරුර.




     

Friday, July 19, 2013

පව !


ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...

මලකුණ විකුණුවා මං
රන් ව්‍ ඇට හතරකට...



ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...

රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...


අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...



මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...

ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...




එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?







 







Wednesday, July 10, 2013

අහම්බෙන් වගේ...

ඉපනැල්ලේ පිදුරු බිම්මලක
පුසුඹ දැනෙන විට
රබර් කට්ටියේ තට්ටයට
හඳ, එළිය වක්කරන විට
වඩදිය පොල්රුප්පාවම
තෙමන විට
ඔබ සිහි වුණා
අහම්බෙන් මට...

ගුල් හැදුනු බිත්තියේ
කටුමැටි
කුරුටු ගාමින් සිතුවිලි
මුදාහැරී හැටි
බිඳෙන ලුණු රළ
මුමුණනා හැටි
සිහිවේ මා කවියෙක් වූ හැටි...

කිරි කවඩි ඉහිරෙන
ඒ මුහුදු වෙරළේ
තාමත් රුවල් ඔරු
දියඹ හා නැටවේ 
ඩෙල්ටාව පසු කරන
හැම, නේක වාරේ
මගේ මතකයේ
දිය බුබුළු නැංවේ...






[ගඟ මුහුදට වැටුණු තැන...]



Monday, June 10, 2013

මළවුන්ගේ දවස

ලෝකයම රවුම් බව
තේරුණා  මට...

ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.


සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...

නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.


බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.

නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.






මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.


* * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...











 

 


පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.