Pages

Showing posts with label නුඹ හා මා. Show all posts
Showing posts with label නුඹ හා මා. Show all posts

Friday, December 6, 2019

කාලය හරහා වූ ගමන

මේ ලියන හැමදේකට
පණ ‌දෙන්න පුලුවන් නුඹට...

ඒ මතකයට
ඒ අතීතයට එරෙහිව,
මියැදෙන්න බැහැ ‌නොවැ මට.

වළාකුලු අතර ක්ෂණයකින් සැඟව ගිය
හඳුනාගත් ආකාශ වස්තුව
ඔබම විය,
නුඹ හඹා යා හැකි භෞතික සුතුර
තවම මා ‌සොයා ‌ගෙන නැත.

කාලය හරහා ගමන
එතරම්ම ප්‍රිය උපදවන්නක් බව,
දිනෙන් දින මට කියා ‌දෙයි නුඹ.

ඒ අතරෙදි පසුවන
මළ තාරකා, කලුකුහර
ඉපදෙන නිවෙන නිහාරිකා
නෙබියුලා, ක්ෂීර පථ මත
මට පාර ‌සොයා ඒමට
නුඹ දැමූ ‌බොරලු කැට ‌බෝ තිබිණ.

මහා පිපිරුමට පසු
අතුරුදන් වූ නුඹ ‌සෙවීමට
හබල් දුරේක්ෂයටවත් ‌
නොහැකි වූ නමුදු
නුඹ නිදන, වැළපෙන තැන
ම' දුරේක්ෂයට දර්ශනය වන බව
නුඹ පියා දන්නෙහිය, 
                                               (මගේ තරු විද්‍යාවට 
                                                කෙනහිලූ නුඹ පියා
                                                ගන්නෝරුවේ ‌දෙවැට මැද දී
                                               මගෙන් ඒ ගැන විමසීය)


එක්තරා වල්ගාතරුවක් මත
දියණියකගේ ‌පෙකණි වැලක් වූ අතර
ඇය නිල්වන් ඇස් ඇත්තියක් බව
ඒ අසල වූ ‌බෙහෙත් තුණ්ඩුවක
සටහන්ව ඇත,
පියෙකුට දියණිය ගැන වන සින්ඩ්‍රෝමය
එය මට මතක් කළ බව සහතිකය.

විශ්වය, මණ්දාකිනිය, ක්ෂීර පථය
යනු කුමක්දැයි මා ඇසූ කළ,
රුධිර සංසරණ පද්ධතිය ‌මෙනියි
මිමිණූ නුඹ*,
මතකයට නැංවුණ දාට
හිඳින තැන ‌සොයාගෙන
කාල-හෝරා යන්ත්‍ර නැතිව
ගමන් කළ හැකිය මට.

ලෙඩ වුණු ‌බෝනික්කන්
පිරමිඩ තුළ දඟලන අතරතුර
සාතන් ද ඇපල් ගස් මුල 
හැව අරින ‌වෙලාවක
ඇයි මට
නැගෙනුයේ නුඹ මතකයට?

තරුවැලක ‌රෝලකෝස්ටර් පදින නුඹට
පන්නල ‌රේස් පදිමින් අත් පා දන්දුන් මා
දැන් මතක නැතිදැයි අම්මා මගෙන් අසන'තර
අධිවේ‌‌ගෙන් ඇස්ලේටරය පාගා යන
පරඬලක් ‌මෙන් වූ ම'සිරුර
හාතවාරිය වැල් ‌මෙන් හැඩපලු ‌‌ගෙතුණු
මගේ ‌කේසාවැටිය
කාලය හරහා යන ගමනේ
ප්‍රතිරෝධය වැඩි කළහ....

හොයමි- යමි-යළි ‌හොයමි-එමි-එබෙමි-‌හොයමි-ඉව කරමි-‌හොයමි-තැවෙමි-දකිමි-ගනිමි-විනිවිදමි-ඉඹිමි-හුස්ම පිඹිමි-වඩා ගනිමි-ඉඹිමි-අඬමි-ඉඹිමි-යමි-පියඹමි-හුස්ම පිඹිමි-අඬමි

--------------------------------------------------------------------------------------------------------------

හොයන්නට ‌‌බොහෝ ‌දේ ඇතත්
ඉතිරිව ඇති රික්තයේ
අදටත් මගේ හදවතේ පැතුම
"නොසිටීවා කොතැනකවත් නුඹ ‌
මේ  මහප්‍රාණ සක්වලේ!"


(*උරුමය ද ‌නොවුණු නුඹ)

   

Monday, July 1, 2019

කාලය

එක කාලෙක එයා කිව්ව 
මං පරක්කු වැඩියි කියල
දැන් ටිහකට කලින් කිව්ව
මං ඉක්මන් වැඩියි කියල 


Monday, April 25, 2016

දැන් මගෙ අතත් පිච්චෙන්න පටන් අරන් ...


නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?

හරිම අපූරැයි එය...

"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත 
පිච්චෙනවාමයි කොහොමහරි ... "  

නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....

අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...

ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...




* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *




අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...


අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම  
නියමතයි පිච්චෙන්ට 
අද ඉදන්...





Wednesday, March 16, 2016

පණ ඇති පිනි

"පින්නටත් පණ තියෙනවා..."
මට මතකයි නුඹ කීවා,
මං ඇහුව ඇයි ??                     


"ඒකනෙ පින්නෙ හිටියම
ඔයාගෙ ඔළුව පොගල පොගල
සෙම හැදෙන්නනෙ !"                  
පස්සෙ, නහය උඩට ඇද ඇද
තමයි මා එක්ක කතාව
නැත්තං
ලේන්සු දෙක තුනක් විතර
මගේ තමයි ඉවර 

* * * * * * * * * * * * * * * * * 

ඇත්තටම පින්නට
පණ තියෙනවා 
දැන් දැන් මට දැනෙනවා...            

ඒ කාලෙ මට
හචිස් යනකොට
නුඹ අංකයක් කීවා !
දැන් මගේ ඔළුව
පොගලා හචිමක් යනකොට
මං උවමනාවෙන්ම                         
අංකයක් මතක් කරනවා !            

හැමදාම පාන්දර
හිතාමතාම මං 
පින්න යටට යනවා
සමහර පිංතූර මතකයන්ට
පණ ඒවි කියලා...                         

* * * * * * * * * * * * * * * * *

නුඹේ සිතුවම්වලින්
නිතරම ඉහිරැනේ පිනි,
මගේ කවිවල 
නුඹ හෙව්වෙම පිනි...                   

* * * * * * * * * * * * * * * * *

"ඔයාගෙ හිතත් හරියට
පිනි වැටුණු චිත්රයක්"

උදැහැනැක්කෙම
මං දුවන කොට
ඔබ මට ජර්සියක් විසිකළා
ජර්සිය ඇතුළෙ
මගේ හිස බොදවුණු
සිතුවමක් තිබුණා...                     

මට තාම මතකයි
අපි දෙදෙනාටම අමතකව
පින්නෙන් පෙගුනු
මගෙ මුද්දර පොතයි
තව රතු පොත් දෙකකුයි
අපේ ඇස්වලට කදුළු ගෙනාවා...    
ඒ පොත්වල තිබූ ගොඩක් දේ
පෙගිලම ගියා,

ඉතින් පිනිවලට පණ තියෙනවා!


* * * * * * * * * * * * * * * * *

දැන් නුඹේ කදුළුත්
පිනිදෝ කියා හිතෙනවා...

* * * * * * * * * * * * * * * * *

නුඹ කොහේ හිටියත්
නුඹේ හිසටත් කොණ්ඩ තුඩුවලටත්
කන්පෙතිවලටත් නළළ මැදටත්
පිනි බානවා ඇති,
සමහර විට
මතක දියවෙයි කියා
අර පන් තොප්පියම
නෑ!
වෙන හිස්වැසුමක් 
දැන් නුඹ දානවා ඇති.                   













Wednesday, February 17, 2016

පෙම් කරන ගස්



කාලයාගේ ඇවෑමෙන්
අප සිටවූ
ප්රසිද්ධ, නිවුන් පොප්ලර් ගස්
හැඩි දැඩි වී ඇත...

සියුම් ජල බිදිති වාෂ්ප කරන අතරම
සිහින් හඩින් ගී ගයන අතරම
අකුණුවලට තිගැස්සෙමින්
අපේ මතකයන්ගේ දෝංකාර
සහ
ප්රේමනීය සිපගැනීම්
සගවාගෙන සිටිති...

දැන් බොහෝ දෙනා පැමිණ
මේ ගස්වලට
අයිතිවාසිකම් කියති...


* * * * * * * * * * * * * * *
අතහැර දමමි 

* * * * * * * * * * * * * * *

නුඹ නැතිව මට තනියෙන්
ඒවා රැකිය නොහැක...

නමුත්

වාසනාවක මහත !

අප දෙදෙනා
තවත් නිවුන් පොප්ලර් ගස්
සෑහෙන ගණනක් සිට වූ බව
කවුරැත්ම දන්නේ නැත !





Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Wednesday, January 13, 2016

පාපොච්චාරණය



අර බලන්න,
කළුකුහරයක්
තාරකාවක්
ගිලගන්නා හැටි!

* * * * * * * * * * * *

තරැවක් මියැදෙන කොට
ඉන් නික්මෙන එළිය
ආලෝක වර්‌ෂ ගණනාවක් විත්
අපේ ඇස්වල වදින කොට
අපි හිටියේ
සාන්ත අන්තෝනි මුනිදුගෙ
පල්ලියේ පඩිපෙළ ඉදිරියේ වූ
සදකඩ පහන දිහා බලාගෙන.

නුඹ හිතුවා මේ එළිය
ජීවත් වෙන තරැවක
දීප්තිමත් කිරණ කියල

* * * * * * * * * * * *

මදිනා කන්දේ
පහළම සානුවේ
තේ පදුරැවලින් වටවූ
පෙද පාසි බහුල
ගල් බිත්ති මත,
ගෝනුස්සන් වාසය කරන
අපේ පල්ලියෙ කොඩිගස
සහ ඝණ්ඨාර කුළුණ
පිරිපුන්ව වැඩුණු
පොප්ලර් ගස් දෙකක් මෙනියි
හැමවිටම නුඹ කීවා...

ඒ දෙසම බලාහුන්
අල්තාර ඉටිපන්දම්
නුඹත් මාත් ගැනම සිතමින්
දිය ව ගියා...
ජීවිතේ ගෙවූ
අතිශයින්ම මිහිරි වූ
තත්පර ගණනාවක වග
මේ ඉටිපන්දම් එළි
ඝණ්ඨාර කම්පන තරංග
කල්වාරි කන්ද ‌ෙතක් ගෙන ගියා...
මට තාම මතකයි
නුඹේ සිනිදු'මුත් උණු
ඇගිලි තුඩු
ම'පපුවේ කුරැසිය අඳින හැටි
මට කියා දුන්නා....


නුඹේ තියුණු කටහඩ
ඔරසන්වලට යාතිකාවලට
හරිම සිනිදුවට
ගැලපෙන හැටි
මං ඈතට වී
දණ ගසාගෙන බලා හිටියා...
තාමත් අසා සිටිනවා,
මගේ ජීවිතයේ 
එන එන සතියක් 
ඒ කටහඩින් ඔපවත්වන
ඉරිදායින් පටන්ගන්නවා...

* * * * * * * * * * * *


පල්ලිය පිටිපස්සෙ වූ
දැවැන්ත ඇහැල ගහ යට
මිනී පිච්චෙනවාට විරැද්ධව
මගේ පියතුමා නුඹේ පියතුමාට
ගතු කීවා...
මගේ පියා බිල්ලන්ට නතු වුණා
නුඹේ පියා නුඹත් අරන් අතුරැදන් වුණා
ඒ වෙනුවට
අලුත් පියතුමෙක් ආවා....


* * * * * * * * * * * *

තාමත් මම 
නුඹව සොයමින්
පල්ලියක් පල්ලියක් 
ගානෙ යනවා...
ඒ හැම පල්ලියකම 
අල්තාරය මත
නුඹ දියවෙනවා 
මට පේනවා !




Friday, December 11, 2015

ගියා...

" අනේ නුඹ මට හිමි වුණා නම්..."
                              මම එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             "ශේක්ෂ්පියර්‌ගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               නුඹ කීවා....


       
" හැමෝටම, දැනෙන්න ආද‌ෙර්‌ කරන්න බෑ..."
                              නු ඹ එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             " ගාර්‌ෂියා ලෝකාගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               මං කීවා....


ඉල්ලීම සහ දැනීම
අතර දෝලනය වන
ආදරය නමැති
ඔරලෝසු බට්ටා
වෙන්වීම නමැති එලාම් එක
වදින විදිහට වැඩ සැලැස්වූවා...


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ මාකොළ වත්තට ගියා...
මං කිවුලවත්තට ගියා...
ඒ තොප්පිගල කොටි හිටපු කාලෙ.... 




Monday, July 27, 2015

සබරගමු සඳ




ඇසල සඳ 
එබෙන විට
කුමුදු මල් 
පිපෙයි හෙමිහිට 

සේපාලිකා සුවඳ
ගෙනෙයි සිසිල මඳ මඳ
විලේ දියකාවුන්
තොරන් නටවයි කැලුම් විද විද 

පෝයක් ගෙවෙන විට
පතමි පැතුමන් සංසාරගත
නුදුරේම හෝ සමහර විට
සබරගමු සඳ වෙළනු ඇත මා ගත

මෝදු සඳු වළාකුළ මත
වයයි රබන් පදයක් හෙමිහිට 
මුමුණ මුමුණා ඔබේ වත
නගයි හසරැල් එ'සඳ විලසට

දෝතලු බටතුඹ කැන්ද නාදලු
මහා වනස්පතියන් ද සිත්කලු
ඇසල සඳවන් නුඹ වත නෙත්කලු
මිටිකිරක් ‌සේ ගෙනේ නවනලු    

Tuesday, June 16, 2015

නුඹේ හෘද සාක්ෂිය හෙවත් මගේ ඉරණම




අතීතය මැදින්
ආපසු නොයන්නට
ගිවිස ගත්තා
ඔබට මතකද ?

පැසවන වේදනාවක
රසබර දාංගලය
ඒ අතීතයේ තැනෙක
මම තබා තැබුවෙමි...

ම'හද ක්ෂේත්‍රඵලය
ඒ වේදනාවේ ක්ෂේත්‍රඵලයට
වඩා බොහෝ වැඩි නිසා
අතීතය තුළ ඒ වේදනාව
ගොජ දමමින් තවත් පැසවයි...

තාප්පෙට උඩින් විසිකළ
කොළ කෑල්ලක ලියූ
භූගත ප්‍රේමනීය සිතුවිල්ලක
වටිනාකම උහුලන්නේ
කළාඳුරු හෝ හුළංකීරිය
පඳුරක ආකන්දයෝය...

නුඹේ පියා පවසන පරිදි
ප්‍රේමය හිඟන්නෙක් නම්
හිඟාකෑම එහි ආත්මයයි,
ප්‍රේමය, ශක්තිය වැයවන
වැඩපිළිවෙළක් බව
ඔහුට අමතකවෙයි...
ඔහුට ප්‍රේමය "ටොම් ඇන්ඩ් ජෙරී"
මෙන් ද්විමානයි...
එහෙත් මතකෙට ගන්න,
සබඳතාවක් යනු
ජීවිත නාට්‍යයේ ජවනිකාවක් වෙයි...

ඔබත්, ඔබේ පියාත්
මමත්, මගේ මවත්
චරිත රඟපෑ ඒ වේදිකා නාට්‍යයේ,
නුඹේ පියා බිලී බාන්නාට
පණ පෙවීය.
මගේ මව මියැදෙමින් සිටින
නුග ගසට පණ පෙවීය.
දර්ශන වාර දහසකට පසු
මේ දර්ශන වාරයේත්
එය එසේම සිදු විය...

+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +

පිරිමියෙකුට නොහොබිනා තරමට
මම නුඹ රැකබලා ගතිමි.
ඒ අතීතය දෙපීලි නොමැති
සිල්පර කොටන් මෙනි. 







Thursday, April 30, 2015

මා, මාරියා සහ මාරියාව



උඹටවත්
මටවත්
ආදරේ කරන්නට,‌
හන්තාන ඉලුක් පඳුරු නොවිනි.
පේරා බිමේ ඇහැල කඳන් නොවිනි.
මහවැලි ඉවුරේ නිදිකුම්බා පඳුරු නොවිනි.
කොල්ලුපිටියේ කළු ගල් වැටි නොවිනි.

තිබුණෙ
මුහුදු කුකුළන්ගේ
හම් හා කොරළ වැපිරෑ
කරිජ්ජ වැල්ල පමණි...

බිඳෙන, මුමුණන රළ
ඩාලිගේ චිත්‍ර මෙනියි
නුඹ කී වෙහිය.
කකුළුවන් වෙට්ටු දමන හැටි
චේ ගේ ගරිල්ලා උපක්‍රම යැයි
මම කීමි...

නුඹ නොහිටින්නට
ඒ මූදු යායම
පල්ලියේ සොහොන මෙන් වන්නට තිබිණ,
මා නිතර පිටදී හුන්
ඇන්තනී මාමාගේ
නොපිට ගැසූ ඔරු කඳ
ෆාදර් ෂෙරාඩ්ගේ සොහොන් වල
වන්නට ඉඩ තිබුණි...

නුඹත් මාත් කූටාලු කළ
මහා රතු පොත් කන්දරාව,
අතුරේ යන්නාසේ
පීප්පවලට වහං වී
කියවාපු අන්දම
ඒ බිඳෙන, මුමුණන රළ
මට කියයි...

කොමියුනිස්ට් කඳක් යැයි
හංවඩු ගසා
වැල්ලේ පොඩි කර තිබූ
තාත්තාගේ කඳ
නුඹට මතකැ`ති

ඒ අවසරයෙන්
අම්මාට ළංවූ
ලොකු තාත්තාත්
නුඹට මතකැ`ති

අත් පා, ඇඟිලි, ඔළු
මාළුන්ට දන් දුන්
රැඩිකල් මාළුකාරයන්
නුඹට මතකැ`ති

අපව බිහි කළ
අවර්ණ, පිලී රස මා වැල්ල
තනිකරම රතු පැහැ කළ`යුරු
නුඹට මතකැ`ති

ආදරයේ රතු පැහැය
අපි අප බෙදාගත යුතු කලෙක
සනුහරේ වෙනස් කරන්නට
කැප කළ හැටි
නුඹට මතකැ`ති

මේ හැම මතක මතු නොකර නුඹ
දිවි ගෙවනවා`තියි  මම සිතමි...

නුඹ නැවත ආ දිනෙක,

අපි වෙළුණු, පෙරළුණු,
දෙපා පැටළුණු
බිම්තඹුරු වැල් යාය...
එක්ව මළපහ කළ
කළු පාට කාණුව...
මාවෝ, මින් ගැන
සටහන් තැබූ
සිනිදු මැටි පොළොව...
හදිසියට වහං වුණ
දානියලේ මාමාගේ
උෟරු කොටුව...
උදේ දරුවන්ට
රාත්‍රියේ අපට
ඉගැන්වූ ඈන් අක්කාගේ
මොන්ටිසෝරිය...
තාම එහෙමමයි
නුඹ කියාවි.

චිත්‍ර කාමරේ නුඹේ කැන්වස
ලියන කාමරේ මගේ කොළ මිටි
අතීතයේ සාක්කිය දේවියි
නුඹ කියාවි...

එක්වරම
ආගිය අතක් නොවුණත්
නුඹ ජීවතුන`තර බව
මම දනිමි...

දෙවරක්... තෙවරක්...
සියවරක්... දහස්වරක්...
සිතමි...

නුඹට නුඹ අහිමිවීමට පෙර
නුඹ අන්තර්ධාන වියෙහිය.
මට මා අහිමිවන්නට පෙර
මතක සටහන තබමි.










- - - - - - --- - - - ----- - - ----- - - - - ----- - - - -

නුඹේ වග-තුග සටහන් මින් නිමි. 
20. 04. 2015 


















පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.