Pages

Tuesday, August 14, 2012


පාන්



නුඹ ඉල්ලන්නෙ පාන්
මගේ කඩේ නැත්තෙත් පාන්
එසේනම්  කළ යුත්තෙ තමන්
තියෙන තැනකින් ගැනීමයි පාන්...

හැබැයි,

අර කඩේ නෑ පාන්
කියන එක නවතපාන් !



මනාපයි !



කපන්න කපන්න
මල ලියලන්නෙ
උඹටමයි
රා මදින්නෝ...












Friday, July 27, 2012

ගැහැනිය සහ පිරිමියා


පිරිමියා සහ ගැහැනිය
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.

අස්වාභාවිකව

වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.

පිරිමියා මහෞෂධය.

ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.

නමුත්,

ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.

කිසි දිනෙක,

ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.

උහු ඒවා වනති, හදති.

විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.

පිරිමියා වරදක් කළොත්

එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.

ගැහැනිය වරදක් කළොත්

එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.

ගැහැනිය තමා ගැහැනියකැයි

තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.

Wednesday, July 25, 2012

කෙටි වචන සහ දිගු අරුත්





අල්තාරයට...   








මා
සෑහෙන්න
විශ්වාස කළා
නොසෑහෙන්න
ආදරේ කළා

ඒ ඔක්කොටම වඩා
ඔබෙන් පිට වූ හුස්ම
මා උරා ගත්තා

ජමීලා
මැටි අශ්වයයි පන් මිටියයි
ළඟ තාම හුමිටි තබනවා
මා



Tuesday, June 5, 2012

මායාවතියේ...










ඉර හඳ ඉරා දමන්නට
වෙර දරා ස්නායු  සිඳගත්
හද සිත්තරාගේ සායම් බඳුන
පෙරළා එකවර හද වර්ණ කරගත්
මායාවතියේ...


මන්නාරම් පතොක් පඳුරක
දළඹු  කටු අතරෙ
සැරිසරන කළු කුහුඹුවන්
ගන්නට නොහැකිසේ නිය'ගින්
ගල්පිළිමයකි ඔබ
ඉර හඳ මැරෙනකල්


දළ සටහනේ ඇඳි හදවත් සැකිල්ල
වාත්තු කරන තුරු  ලොමින්
හදට නිස්කලංකව කම්පන ගලා එයි
ඔබ කොහේ හෝ සුවෙන් නම්
මායාවතියේ ...

Thursday, May 3, 2012

පුන්සඳ
හරියට
ගෑනියෙක්ගේ
උඩු තොලේ හරි
යටිතොලේ හරි
කොහේ හරි තොලක
උපන් ලපයක්
තියෙනවා වාගේ...

Monday, March 26, 2012

අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය - [ඇලෙක්සි අර්බුසෝෆ්]






වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?

වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.

සර්ජි- තව ටික කලක් ඔහොම ගියාවෙකො. පොඩ්ඩො දෙන්න ටිකක් ලොකු වුනාට පස්සෙ අපි ඒ දෙන්නව ළමා පාසලකට දාමු. ඊට පස්සෙ ඔයාට වැඩිදුර ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි යන්න පුළුවන්.

වාල්යා- (විරාමයකට පසු අලසව) මම මොන වගේ රස්සාවක් කරනවටද ඔයා කැමති?

සර්ජි- කොන්ක්‍රීට් දානව වගේ වැඩක්. මේ කාලෙ ඉතාම වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට්.

වාල්යා- (එය පහත් කොට සලකමින්) කොන්ක්‍රීට්? මට ඕනෙ වෙලාවක කැෂියර් වැඩේ කරන්න පුළුවන්.

සර්ජි- එපා වාල්යා. ඔයා හිතන හැටි වැරදියි. (හැඟීමෙන්) මිනිහෙක් සන්තෝස වෙන්නෙ මොකක් හින්දද? තමුන් වැදගත් වැඩක් කරනව, තමුන්ට වඩා විශාල දේක තමුන් කොටස් කාරයෙක් වෙලා ඉන්නව කියන හැඟීම තමයි මිනිහෙකුට සතුට ලබා දෙන්නෙ.

වාල්යා- ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ.

සර්ජි- මට හරියට තේරෙන්න් නෑ ඒක විස්තර කරන්නෙ කොහොමද කියල. සමහර රස්සාවල් තියනව ඒවයින් මිනිස්සු ඉස්සර හිටියට වඩා ලොකු, වඩා හොඳ මිනිස්සු බවට පත් වෙනව. (මුදු ලෙස) ඔයා කොන්ක්‍රීට් වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් පස් හාරන යන්ත්‍රයෙ වැඩ කරන්න. ඉස්සෙල්ල අත් උදවු කාරයෙක් හැටියට පටන් අර ගන්නව. ඊට පස්සෙ රාත්‍රී පාසලට ගිහින් පුහුණු වෙනව. මම හිතන්නේ මේ වගේ වැඩකට ඔයාට හැකියාවක් තියනව කියල. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි සහකාර ෆෝමන් කෙනෙක් වාගෙ තත්ත්වයකට උසස්වීමක් ලබන්න. මට දැන ගන්න ලැබුණා වොල්ගා වේල්ලෙ වැඩ කරනවලු තරුණ ගෑණු ළමයෙක්. එයා තමයිලු පස් හාරන යන්ත්‍රය සම්පූර්ණයෙන් ම භාරව ඉන්නෙ. ඒක පුදුමයක් නෙවේ ද?

වාල්යා- (තරහෙන්) හොඳයි මගෙ වියදම් හොයාගන්න මා ලව්ව රස්සාවක් කරවන්න. ඕනෙ නම් මං කෙලින් ම යනවා සාප්පුවට. එතන හැමෝම මාව අඳුනනවා. මට තනියකුත් නෑ.

සර්ජි- වාල්යා!

වාල්යා- කෑ ගහන්න එපා. ළමයි දෙන්න ඇහැරෙයි.

සර්ජි- එහෙනං නවත්තගන්න ඔය කතාව.

වාල්යා- හොඳයි. සාප්පු රස්සාවෙ ඇති වැරැද්ද මොකද්ද? මම කැමතියි ඒක දැන ගන්න. මම ඒ රස්සාවෙන් හොඳ සල්ලියක් හොයා ගත්තා.

සර්ජි- (පුදුම වී) මොනව කිව්ව?

වාල්යා- ඔයා හිතුවද මම ලැබෙන පඩියෙන් ජීවත් වුනා කියලා. පිස්සු! එක එක්කෙනාගෙන් ඉතුරුවෙන කොපෙක්ස් දෙක තුන එකතු උනාම හවස් වෙන කොට හොඳ ගානක් මගෙ සාක්කුවට වැටෙනව.

සර්ජි- (කෑ ගසමින්) වාල්යා! (හඬ බාලකරමින්).. වාල්යා (ඇගේ හිස පිරිමදී) (තැන්පත් වෙමින්) වාල්යා!

වාල්යා- මට සමා වෙන්න සර්ජි. (ඈ දණින් වැටේ) මට සමාවෙන්න....

සර්ජි- එපා වාල්යා (ඈ නඟා සිටුවා ආදරයෙන් වැළඳ ගනිමින්) ඔය වගේ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා.

වාල්යා- මට හරිම මහන්සියි සර්ජි. මට දවස තිස්සෙම ළමයි දෙන්නගෙ වැඩ කරන්න තියෙනව. ඊට පස්සෙ රෑ කෑම උයන්නත් තියනව. පිඟන් කෝප්ප හෝදන්න, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන්න තියනවා. ඉතින් ඔයා වොල්ගා නදියෙ ඉන්න ගෑණියක් අගය කළාම... මට හරියට හිත රිදුන....

සර්ජි- (හිස පිරිමදිමින්) ඇති. ඇති. මම ආයෙන් වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින් අඬන්න එපා. මම මෝඩයෙක් කියල මට හිතෙනව. ඒත් මම ඔයාට කොච්චර ආදරේ ද කියල කියන්න බෑ වාල්යා. ඒක පුදුමයි.

වාල්යා- (කඳුළු අතරින් සිනාසෙමින්) පුදුමයි.

[-අන්ගාරා ගඟ ගලා බසී]

සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සි අර්බුසෝෆ් ගේ "It Happened in Irkutsk" නමැති නාට්‍යයේ පූර්ණ පරිවර්තනය- "අන්ගාරා ගඟ ගලා බසී" (2005- රන්ජිත් ධර්මකීර්ති- සරසවි ප්‍රකාශන) නාට්‍ය පිටපතෙන් උපුටා ගත් කොටසකි. මෙම නාට්‍යය මගින් පශ්චාත් විප්ලවීය රුසියානු සමාජය විවරණය කෙරෙන අතරම යොවුන් ප්‍රේමය පිළිබඳ දයාර්ද්‍ර බැල්මක් හෙලයි.

මෙම පරිවර්තිත පෙළ ඇසුරින්, රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළ "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යය මුල් වරට 1978 වසරෙ දී වේදිකා ගත කෙරිණි. වාල්යාගේ චරිතය සුනේත්‍රා සරච්චන්ද්‍රත් සර්ජිගේ චරිතය නිශ්ශංක දිද්දෙණියත් රඟ පෑ අතර අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණයේ අනෙක් මුල්ල වූ වික්ටර්ගේ චරිතය නීල් අලස් රඟපෑවේය. මියැසි මෙහෙයුම ප්‍රේමසිරි කේමදාසගෙනි. ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලද මෙම නිෂ්පාදනය ඉමහත් ප්‍රතිචාර ලබමින් වාර ගණනාවක් ලංකාව පුරා රඟහල් වල වේදිකා ගත කෙරිණි.


ඇලෙක්සි අර්බුසෝෆ්
පරිවර්තනය - රන්ජිත් ධර්මකීර්ති












Wednesday, December 28, 2011

ඝනකම (thickness)



බැඳලා අවුරුදු තිස් පහකට පස්සෙ
(තාත්ත මැරිල පෝය තුනක් ගෙවෙන අස්සෙ)
අපේ අම්ම කිව්ව
අහපු කතාවක්
තාත්ත එයාගෙන්
හම්බවෙච්ච පළමු දවසෙ....

"ඔයා කෙල්ලෙක්ද ?
        ගෑනියෙක්ද ?"

අම්ම දුන්නෙ කෙටි-පටු උත්තරයක්,

"දෙන්නම එකයි.
වෙනස
අත්දැකීමෙයි
වින්දනයෙයි! "

සති දෙකක්වත් ගියේ නෑ,
අපේ තාත්ත,
          අම්මව බැන්ද ෴

Wednesday, November 9, 2011

block






  බ්ලොක් කරනවා
විකුණනවා... විකිණෙනවා...

බ්ලොක් කරනවා
නිදියනවා... නිදිවදිනවා...

බ්ලොක් කරනවා
හිඟනවා... යදිනවා...

බ්ලොක් කරනවා
හැමෝම
එනවා... යනවා...
මදිවට,
හැමිනෙන්නත් එනවා


මහපාරේ




Friday, October 28, 2011

 නොරිස්සීම



ඈත සීතල
ගිරි මුදුනක
උසම උස වනස්පතියක
තැනූ නිවසක
පාලු බව නැති,
මෘදු වදන් ඇති,
දිවිසැරිය සරිකළා
කුරුලු ජෝඩුවක්...

නිදහසේ සුවසේ
තුඩින් තුඩග
පිනි බිඳිති තවරමින්...

උඳුපියලි, මල් පෙති
නිදිකුමුදු මල් රේණු
රැගෙනවිත් දෙදෙනාම
තැනූහ මල් මාල...

වසත් කාලය සමරමින්
කුරුලු තෙම පිබිද
කිරිලියට දුනි
දිවියට අරුත...

තුන් මසකින් පමණ
කූඩුව පුරාම
කිචි බිචි හඬින්
පිරුණා මුළු නිම්නයම...

සතුට ඉතිරෙයි
හිම කැබිලිති මෙන්...

කුරුලු ජෝඩුවට
වැඩද වැඩි විය,
බරද වැඩි විය.

යාලු යෙහෙලි - පුංචි පැංචි
පැටවුන් දඟ කරනා හැඩ
රස වින්දහ සියලු සත්තු...

කාලය ගත වී යද්දී 
වැසි වැටුණා මොර සුරන
පැරණි නිවස අබලන් වී
හොඳටම ලං වුණි කැඩෙන්ට...

කිරිලිට බිය පැංචා ගැන
කුරුලු තෙමෙත් බියෙන්ම හිඳ
නව නිවසක් තනනා හැටි
කතිකා කර ගති දෙදෙනම...

හිමිදිරියෙම වටකුරු වුණු
පිනි බිඳුවක් බීගන්නට
මල් රොන් පිස ගෙන එන
ඉල් වැස්සෙන් පණක් ලැබූ
සුළඟට පිටුපා යන්නට
සිද්ධ වුණා කුරුල්ලාට
නිවෙසක් හදනට
තැනක් සොයන්නට...

එදා රෑත් වැසි වැටුණා
කූඩුව තව තව බිඳුණා
කිරිලිට ඉවසුම් නැතිවී
කුරුලු තෙමේටම කෙටුවා...

කුරුලු තෙමේ පිටව ගියා
පසුදින උදයෙම එන්නට...

සැම තැන වතුර පිරී
පැලුණු ඉරි පිරී ඉතිරී
වැව් දිය, ගං දිය ඉතිරී
සැම සතුන්ම ප්‍රබෝධවී...

පසු දිනයේ වනය පුරා
තුරු හිස් ගස් බෙනද පුරා
නිවහනකට තැනක් සෙවූ
කුරුල්ලාට මග වැරදුන...

දින හතරක් දෙනෙත් ආයා
පුංචි එකා දෙස බලලා
කඳුළු බිංදු දහස් ගණන්
ඇගේ නෙතින් ගලා ගියා...

කුරුල්ලාට සිදු වූ දෙය
කිසිවකුවත් දන්නේ නැත,
ගස්වැල් සුළඟට කිව්වා
සුළඟට අමතක වූවා...

කෙසේ නමුත් ගෙයක් හොයන්
කුරුල්ල පැමිණේවී කියා
නිවසක් තනලා දෙන්නට
අරන් යන්න ඒවි කියා
සිතා සිටිය හැටි එනකොට
මතකය අමතකව ගියා...

෴    ෴     ෴  ෴    ෴     ෴ 

වනය පුරා හැමතැනකම
නිවෙසට තැනකුත් හොයනව
කුරුලු ගොයෙක් ඒ අතරෙදි
තටුවක් ඉරලා දානව...

තටුවට බරපල හානි
සිදු වූවද ආපසු එන
අදහස ඇත නෑරම ඔහු
සෙමෙන් සෙමෙන්
තුරු මුදුනින්
ලතාවලින් ජවය අරන්
ගමන් කළා අහස කුසින්...

දින සති ගෙවිලාම ගියා
තමුන්ට හුරු සුවඳක් වෙත
කුරුලු තෙමේ කිට්ටු වුණා...

කඳු මුදුනේ ඇති ගහ යට
පරඩෙල් ගොඩකුත් තියෙනව
ගහ මුදුනේ පොඩි කූඩුව
කලින් ලෙසම සිනහ වෙනව...

රූං කියා යන්න ඕන
නමුත් අතක් බිඳ වැටිලා
සෙමෙන් සෙමෙන් කඳු මුදුනට
සේන්දු වනාවා දැනුනා...

පාළු සුවඳ පමණක්මයි
ඉතිරිව තිබුණේ නිවසේ
දරුවයි ඇයගේ රුවමයි
දෙනෙත් නිතර සොය බැලුවේ...

සුසුම් හුඟක් උණුසුම් වී
දෙනෙත් නිලංකාර වුණා
ඈත අහස දෙස බලමින්
දුක දෙවියන් හට කීවා...

ඈත අහසෙ ඈතම තැන
දෙදෙනකු පියඹා යනවා
පුංචි තිතක් කොමා දෙකක්
ලෙස දෙන්නව පේනව....

කුරුලු තෙමේ කඩා වැටුණ
දෙනෙතින් ගලනා කඳුලැලි
කඩා වැටෙන්නේ කොහෙදැයි
දකින්නට කියා සිත්වී
සෙමෙන් සෙමෙන් බිම බැලුවා...

උඳුපියලිය පිළිස්සිලා
මල් සියල්ල මිලිනවෙලා
දිය සීරාවට මොනවද
බොර පාටක් එකතුවෙලා...

දැස තෙමිල හින්දාදැයි
තෙමෙන දෙනෙත් පිස දැම්මා
පිස දාන්න පිස දාන්න
කඳුලැලි තව තව ගැලුවා...

සිරුරේ බර නිදහස් වනු
එකවර ඔහුහට දැනුණා
පරිසරයේ සියලු සද්ද
එක මොහොතක් නතර වුණා.












 


Monday, August 15, 2011

                                         " මා තේරුම්ගත නොහැකි  වූ හැම කෙනාටම මා මැජික් ය. "

                                           එමනිසා    මම,
                                           මැජික්කාරයෙක්මි.
                                           මායාකාරයෙක්මි.
                                           පිසාචයෙක්මි.
                                           තොරොම්බල්කාරයෙක්මි.
                                           විකටයෙක්මි.
අවසාන වශයෙන්,
..... ඇඳගත්තෙක්මි.
ඇන්දීමට යටත්වන්නෙක්මි.

            + + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++

                                           මාව ඇන්දුවා කියල
                                           ඔයාට ලැබුණේ මොනවද?
                                           මේ දවස් ටිකට.


 

          ෴෴      ෴෴      ෴෴      ෴෴   ෴෴      ෴෴  

තව විදිහකට කියමි
මෙයම,


 
 
 
 
 
මෘත ක්ලේබර  =  රැවටීම

(අ)පිරිසිදු කතුන්ගේ ලිංගය
නොහොත්
පපු කැවුත්තක් නැති
ගෑනියෙක සමග ධාතු හුවමාරුව
හෙවත්
මෝචරිය !









 




 

Tuesday, August 9, 2011



                       පාගලා පාගලා
                       ගිය පසු
                       පොළොවෙන් නැගෙන
                       සුසුම් ගඳ රසමුසු
                       දැනගන්න විඳගන්න
                       නිදිවැරිය  යුතුවේ.......


                                                    පෑගුණ පොළොවටම 
                                                    හඳ එළිය වැටුණාම
                                                    නැගෙන තද රස්න
                                                    සිරුරක් තුළින් විඳගන්න
                                                    නිදිවැදිය යුතුවේ.......


හෝටන් තැන්න !
 










Friday, July 22, 2011

රෑබදුල්ලා


හරියටම හඳෙන්
කපා දැමුවා සේය අඩක්...

ගාටමි, පයින් ගාටමි.

යකඩ යකාගේ කළු දුම් වැදී
ගුඩු පොලක් වූ මම
ගාටමි, පයින් ගාටමි
නිවහනට...

මුළු රාත්‍රියම හා වටපිටාවම
වවුලන්ට - කිරි, මා, කොටිකන්
හිමිය
අයිතිය...
හැම කෙහෙල්මලකම
හැම කතුරුමුරුංගා මලකම
හැම කොට්ටම්බා ගෙඩියකම
හැම පලයකම
අයිතිය
උන්ටය, උන්ගේ බිරින්දෑවරුන්ටය, දරුවන්ටය.

රැයේ ඇවිදින මගේ
හැඳුනුම්පත විමසන්නේ
ගොළුබෙලන්ය,
හන්ගොල්ලන්ය,
කුණකටුවන්ය.

තරු රෑට නිදතියි කියන්න්නෝ
මුසාවාදයෙහි ගැලෙති...

තරු පාර නොපෙන්වති.
බලාගෙන මහා පොලොව දෙස,
අහර බුදිති.
නිදති.
තව තව දේ කරති.

ඔවුන් විඳින්නේ දිවියකි.
එහෙයින්,
නිනව්වක්  නැත අප ගැන.


+ + + + + = + + + + + + +

මහා පොළොවේ භුමි ගඳ (ඇතෙමෙකුට සුවඳ )
සැබවින් දැනෙන්නේ
රෑටය...
සැබෑම සොහොන් ගඳ ( මට නම් සුවඳ )
නියමෙට දැනෙන්නේ
රෑටය.

Tuesday, June 21, 2011

පහතරැටියාගේ උඩරට සිතුවිලි

කුරුටු ගාන C R  පොත
පිටු අංක 22




පහතරැටියාගේ  උඩරට සිතුවිලි
 


කුමක් හෝ කාරණයක් උඩ මා උඩරට රාජධානියට අතිශය සමීප බව මගේ මස්තිෂ්ක තරලවලට හොඳින් දැනේ. 
 එනමුත්, මා උඩරැටියන්ට විහිළු කරන්නේ 
" උඹල තමයි සිංහල ජාතිය පාවා දුන්නේ " යනුවෙනි. 
මඟුල් මඩුව අශික්ෂිත තැනක් සේ මට හැඟුණත් මට එය බලන්නට ආසය.
කෘත්‍රිම බෝගම්බර වැව අපේ කරපික්කඩ වැවට සාපේක්ෂව ශිශුවකු වුවත් එය බැලීමට ආසය.
වැවේ බැම්මෙන් හැරී උඩහට යද්දී අමුතු හැගීමක්ය දැනෙන්නේ. හරියට කාලෙක ඉඳන්  හුරුයි  වගේ.
ඇතැම් අවස්ථාවල උඩරටට ඇතුළු වන ඇතැම් කපොලු ළඟදී මගේ රෝමෝද්ගමනය වෙයි.


මේ විරුද්ධාභාසය කුමක් දැයි තෝරා බේරා ගන්නට නොහැකි වූ තැන මාගේ උපකල්පනය වූයේ, එක්තරා ජන්මයකදී මා උඩරට රාජධානියේ වාසය කර ඇති බවයි.
ඇතැම් දිනවල කඩුගන්නාව පහුකරන විට දකින කඳු වලල්ල උඩරට ශ්‍රී විභූතිය මගේ රස නහරවලට කාවද්දයි. ඒවා මට හුරුවාක් මෙනි. කඩු සටන් මතක් වෙයි. දුනු හී  මතක් වෙයි. උඩු කය නිරුවත් යෝධ මස්පිඩු ඇති සිරුරක් මතක් වෙයි. ප්‍රතිකාලුන්ගේ තොප්පි හා තුවක්කු බට මතක් වෙයි.


 කෙසේ නමුත් මේවනවිට මම උඩරැටියන් සමග ලෙයින් මිශ්‍ර වී හිඳිමි.


මේ හැමදේමත් එක්ක දෙවැනි රාජසිංහ රජුගේ ප්‍රශස්ති ගායනා ද මට මතක් වෙයි. ඔහුගේ ශ්‍රී විභූතිය සහ තේජස වර්ණනා කිරීමට ලියූ "ශ්‍රී නාමය" හි සඳහන් මේ ගායනා අපූර්වත්වයකින් මා ප්‍රහර්ෂයකට ගෙනයයි.
(මේවා ගායනයේදී ගස් ගල් පවා සන්සුන්ව රජු වෙත පක්ෂපාතී වුයේ යයි උඩරට වැසියෝ කියති.)



සීත සුළං සමගින් පිපි මල් ලොව
මිහිරි සුගන්ධ ඔතා සුවසේ
ඇත වනන්තරයේ සිට පාවෙන
ගීත අසා කොවුලා සුවසේ...



දෑත වනා ලෙලවා බඳ කෝමල
ලාලනයෙන් ඇදෙමින් සුවසේ
ගීත ගයන්න ගයා සැනසෙන්න
වසන්තිය ලාලනියේ සඳසේ...



චන්දනා ගරු පංක විලේපන
වීන්දනා නාමෙන් කියතා පා
බන්ධනා නිල්වන් දද  මින්සිරි
නන්දනා විඳිමින් සුරකී පා... 





පුංචි විස්තර ටිකට මගේ නෝනට ස්තුතියි !

Monday, June 20, 2011

s = U t + 1/2 a tª

 අපි හදමු බෝට්ටුවක් !

෴    ෴     ෴ 

මං හැදුවා ඔරුවක්
මං විතරක් !

එක රුවලයි
එක කොල්ලෑවයි 
ඒකත් කොට්ටම්බා කොටයකින්....

ඈ කිව්වා යමු කියා
ඒ ඔරුවෙන් හඳට
නෑ... ප්ලුටෝ වෙත
ප්ලුටෝගෙන් ඈත්ව
ඊරෝස් වෙත
අඩුම තරමින්
ඒ ළඟට...

ආලෝක වර්ෂ තුන්දාහක වේගෙන් 
මං කඹරුවා හබලෙන්
පුරා අවරුදු හතරක් ...

බැලින්නම්
අවරුදු හතරකට කලින්
මගේ ඔරුවෙන්
කොල්ලෑව ගලෝගෙන
ඇ යන්න ගිහින් ...
කොල්ලෑව ගලවගෙන ගිහින් ...

මගේ ඇස් වූවා දීප්තිමත්
ක්ෂණික අකුණක් මෙන්...

වැටුණා ඇගේ ඔළුවට
ඒ අකුණේ උණු වතුර
පෙරලා ඒ මග දිග
ඇ එව්වා මට
වැරදුණු සූත්‍රයේ යතුර

s = U t + 1/2 a tª


s -  ආදරයේ මාත්‍රාව
u -  හැගීම්

t -    කාමය
a -  ප්‍රාග්ධනය
 

Thursday, June 16, 2011

ආටිමිස්



ආටිමිස්


වරක් පොසොන් සඳ
රත්තිගේ ගොම ගොඩට
එළිය දෙන විට
මා  නුඹේ ගැබේ සිටියා
තුන් මස්ව...

ගිං  ගඟේ පතුලට වැදී
එ'සඳ කිරණ පරාවර්තනය වී
පැමිණ දැවටුණාදෝ මන්දා
කටු අකුලක
හිතෙනවද නුඹට....

කහට අඹ මල්
නිමක් නැතිව පා කරන
බෝල් හුළං පහරක
රැඳුණු මගේ ඇසේ තෙත
කණාමැදිරි එළියට
දිළිසෙනවාද නුඹට...

දිය බන්ඩි දණ්ඩට 
ගල් කූර පැරදෙන විට
කළු ගඟ පාමුල
කිරල මුල් අතරෙ හිඳ
අයෙත් දෙවරක් චක්කරේ උගන්වන්නට
ඕනෙද නුඹට....

වාරකන් කාලෙටත් ලැබෙන
කාසිපෙත්තන් බැදල
හබුරු දලු මාළුවක් එක්ක
අනල කවන්නට
ආසයිද නුඹට...

දැදුරු ගංතෙර මෙපිටට
කොටු වුණු අපේ රොටිතැටි ලොවට
උඩින් වැනෙමින් තිබු
හද්දින්නත්  තරු
ගණන් කර කර 
ගණන්  කර කර
හතෙන් වැඩ්  කර
හිතෙන් රත් කර 
මම  තනපු
මගේ ඇමීබා ලොව
තෙවැනි ඇටිකිත්තාගේ කටින් 
අච්චාම්මා.. අච්චාම්මා... යි ඇසෙනවාට
කැමතියිද නුඹ...

කාසි ඇලුණු ලෑන්මාස්ටරයේ
කටු කටු රෝදවලට
තැලී පොඩිවී යන
නුඹේ නිදිකුම්බා ලොව මත
ටයර් කට්ට විතරක්මයි
හිතෙනවාද  නුඹට...

ගෙන්දගම් ගඳට විරුද්ධව
දුම් ගසමින් පදම් කළ
රබර් රොටි නැති
හඳේ ආවටවල
නුඹ ඉන්නවා ඇතියි
හිතෙනවා මටද

හැකරල්ලකුටවන් කකුල් දාහක් ඇති
නුඹේ හිතුවක්කාරකමට
ගිගුරුම් දුන්නත් මම

   ආදරෙයි ! ආදරෙයි ! මැරෙනකම් නුඹට ......   


                

Monday, May 23, 2011

Collision by Manoj Dharmawardhane

Collision

The typical organism inhabits a material world that is abounding with collisions.
Collisions, between the attraction of energy and the release of energy, and collisions between the living and the non-living.

Life is a gel (mixture) that is made up of these collisions. It begins as a collision. And ends as a collision. And in between these two collisions, is a collection of even more collisions.

In other words, in a material world brimming with collisions, begin and end periods of living collisions.

Even though these collisions can be clearly seen to be happening on a surface level, and below, we don’t see them. Though they are countless in number, we don’t give them any attention at all.

The Buddha has said “ siyalu sanskara dharmayo nasena suluya”

It’s normally known as  “Anathmawadha” . It says that everything is changed. Nothing imortal.
It is the core of this deep philosophy which he explained.

“Collision” attempts to demonstrate this philosophy.

The philosophy of collisions that occur in the material world.
If an individual understands this phenomena, he will begin the first actions that will reduce his journey in Sansara. 

 

Thursday, June 3, 2010

තැලෙන යකඩ

අඩක් ගිලුණු බෝට්ටුවේ
කෙළවර දැති අල්ලාගෙන
හද ගැඹුරින් හුස්මක්ගෙන
ගර්තවලට පුරවාගෙන
දියකාවට වැඩි වේගෙන්
පෙලිකනයට වැඩි ගැම්මෙන්
කිමිදී දිය යට
ගැල්වනයිස් පනිට්ටුවෙන්
වැලි හාරල උඩට අරන්
බෝට්‍ටුවට පුරවාලන
යකඩ ගැහැනියක්


දරැ පැටවුන් දිරවාලන
කුමක් නමුත් අහර කිසක්
ගං පතුළෙන්
කළු පාට මඩෙන් 
හාරාගෙන
කළතාගෙන
අනා කවන්නට තතනන
පීඩිත අම්මෙක්


කාටත් මතකයක් නොමැති
හිරැ පිනි බිදු දොවන උදේ
ගං පතුළේ තිරැවානා
ගල් අතරින් අහුලාගත්
මැණික් ගලක් ජනිත උනා


තව පනිට්ටු 
හතක් අටක්
ඇගෙ උරමත 
පතිත උනා


ගංදිය දහදිය බොනවිට
අමු මඩ නියමල් සේරම
කුණු කරවා හමාරයි
හවස ගෙදර එනවාට ඇගෙ
බල නහරය හරියට 
තප්පර කටුවක් වාගෙයි

ගං පතුළෙන් මඩට යටින්
විපුල බිජුවලින් මිරිකා
කිරි උගුරැ හත අටක්
ඇගෙ පියවුරැ පිස දැම්මා

වක ගැසුණු ගං දෑලෙ
ඉස්සො බිජු ලද්දි
ගං පතුළෙ ලූලන්ට
හුස්ම ගෙනිහින් දෙද්දි
මස්ලොඹු වැලි යට දා
වසර ගණං කල් තැබූ ඈ
උඩට ගෙනත් ඒ දෑ
බත්කර රසට දුන්නා


සැම දෙන නිදිගන්න රැයේ
සදපානට මොළොක් වෙමින්
ගං පතුළේ මුදු වැලි කැට
එක උඩ එක වැතිරෙනවා
හෙට උදේම ඇගෙ
පනිට්ටුවට ගොඩවන්නට



වහු පැටවුන් නැටි උස්සා

පුඩුවට නැහැයෙන් අනිනා
පිනි විසිරෙන හිමිදිරියේ
ගං දිය පෙරළෙයි හෙමිහිට


කිරි කට්ටිය මැද්දෙන්
පනිට්ටුවත් ඔලුවෙතියන්
දිය රැළි හා ඔට්ටුවෙන්න
ගං පතුළට හාදු දෙන්න
හුස්ම ටිකක් පුරවාගෙන
කිමිදි කිමිදි
දිය කරන්ට
රතු-සුදු රැධිරාණු
ඇට මිදුලුත් ලේත් පිතත්
ආම වාතයේ ඇඹුලත්


පහළට රෑටන විටදී


ගං දිය හිනැහෙමින් හිටිය
බෝඩ් ලෑල්ලක් එක්කල


තහනම් !
වැලි ගොඩ දැමීම


ලූලන් ඉස්සන් මගුරන්
ගං පතුළත් වැලි වෙනුවෙන්


නගරාධිපති.





Wednesday, April 21, 2010

ඔහු නිසා මම වෙමි









ඇලස්කාවේ හිම කදු වැටියෙදියි
මට ඔහු හමු වුණේ
දෙතුන්පැයක උණුසුම් ආදරය
හිම කදු මතයි දිය වුණේ

වේගවත් වූ ක්‍රියාශීලී වායු දියරයක

නොපෙනෙන සුසුම් රැළි මතයි
ඔහු පාවුණේ


ඉන්නේ කොහෙද
සුසුම් රැළි මතද
ගිනි කදු යටද
පිනිබිදු මතද
සොයනුයේ

ගිනි වළාකුළු, දේදුනු
හිරැ රැසින් තෙරපී
දින ගණන් සති ගණන්
ඔහු සොයන මොහොතෙදී
දේවදාර කැලෑවක කොළ පාට දලු යටදි
ඒ මොහොතෙ සිහි කරන ඔක්කාර රස දැනේ...




ඔහු නිසා මම වෙමි
ඔහු කොහේ සැගවුණත්
ඔහු නිසා මම වෙමි

Monday, April 5, 2010

ඒකාඅධිපති .....ද? නැද්ද?








ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාඅධිපති ගැන මෙන්න මරැ අදහසක්.
අදහස කසුන්ගෙ.

'' ....අද ආඥාදායකත්වය පෙර පුරුදු විදියට රළු සහ නග්න
ස්වරූපයෙන් නැහැ. ඒ වෙනුවට ඒක මාර සූක්ෂමයි. දැන් experience දේ වෙන්නේ ඒක.
ඒත් ඒකාධිපති තුළ පෙන්වන ඒකාධිපතියා විහිළුවක්. ඒක යල්පැනල. මේක දේශපාලනික වශයෙන් වර්තමාන ක්‍රමයට කිසිම අභියෝගයක් නැහැ.මගේ අදහස - ඒ හින්දා නාට්‍යය ෆේල්.."
සංවාදයට විවෘතයි...


Friday, March 12, 2010

මගේ සරසවි ගමන





හිදැස් හිදැස් හිදැස්
සරසවියේ යකඩ වැටේ
කූරැ අතර හිදැස්


ජීවිතයේ හිදැස්
මකා දමන දිවැස්
තිබෙනවායි සිතේ මට
සරසවි භූමිය ඇතුළත


සරසවියට ආසාවක්
තිබුණායැයි මතකයි මට
කූරැ හිදැස් අතරින්වත්
රිංගන්නට තිබුණා මට


කාලය ගතවී ගියමුත්
තැවුණු වදන් නොලි වූ වෙමි
පොත් කන කාවුන් වනසා
මොළයට බෙහෙතක් දාලා
පෙල්ලෙන් පෙල්ලටම නගිමි
නොලැබුණු දේ ලබා ගන්ට


සරසවියයි මායි අතර
ලොකු පරතරයක්ද නොමැත
පොත් රාක්ක පහක් හයක්
අප දෙන්නා අතරින් ඇත


සිවු වැනි පොත් රාක්කයත්
පසු කරනා අතරතුරේ
වියරැ වැටී දොඩමළු වන
පිසාචයෙකි මුණ ගැසුණේ


ඇසට යටින් ලේ බැහැලා
ඇස් වටයත් පොඩි වීලා‍
ඇදුමක් නැති උරහිස්වල
කොදු ඇට පේළියෙ හරහට
සරසවියේ දොරවල්වල
තීන්ත පතුරැත් තිබුණා

" ආවා මං සරසවියට
පිකටින් ගහෙ මුල් අතරට
වැස්සෙන් නොතෙමී ඉන්නට
රතු පටි ඔළුවේ බැදගෙන"


මං ආවා සරසවියට
ඇරලවන්න පිසාච තෙම.

මටත් වඩා අඩු වයසින්
වල්මත් වුණු සොදුරැ මුගේ
ඔළුවේ රතු පටි ගලවා
තෙල් බැම්මේ හිදුවාලා
වඩේ එකෙන්
ප්ලේන්ටියෙන්
බඩගිනි නිවලා දැම්මා
= = = = = = = = = =


සරසවි පාරවල් අතරෙ
එළියෙ ඉදන් මං හිතාපු
හරිම තැනට මොහු යවන්න
තමයි හුගක් වෙර දැරැවේ


ඒ වුණාට ඔහුම තමයි
හරිම පාර පෙන්වූයේ.
‍

Tuesday, March 2, 2010

කුරැටු ගාන CRපොත


පිටු අංක 07

එච්. ආර් ජෝතිපාලයන්ගේ උපන්දිනය දවසේ මට මතක් වුණේ මර්වින් පෙරේරා. ඇයි දන්නෑ.. ඒත් එහෙම වුණා.

මේ මගේ කුරැටු ගාන CR පොතේ සුපිරි ගායකයෙක් නොවුණු අසහාය ගායක මර්වින් පෙරේරා ගැන කාබන් පෑනෙන් ලියවුණු අදහස් බිදක්. (ඔහුට කැමති අයට)

...සංගීතවේදියකු වෙනුවෙන් මගේ දෙනෙතින් කදුළක් වැටුණු, හිත දුකින් පිරැණු (ජීවිතයේ වසර 25කට) එකම අවස්ථාව වුණේ මර්වින් (පෙරේරා) සර්ගෙ මරණය අහපු වෙලාවට පැය 10-15ක් ගිය පසුවයි. නිදිය ගන්න ගිය මොහොතෙ මා හැගුම් බර වුණා.
මා කලක් විශ්වවිද්‍යාල සිහිනයක පැටලුණු කෙනෙක්. ඒ නිසාදෝ "මේ නගරය..." ගීතය මගේ හදවතේ ගැඹුරැම තැනෙක ඉදන් සතියකට වරක් දෙවරක් ස්පන්දනයකින් ගායනා කෙරෙනව. ඒ සිංදුවේ එකදු අත්දැකීමක්වත් යථා ජීවිතයේ මා විද නෑ. මා දන්නා තරමින් සර්ටවත් නෑ. මා ඔහුට සර් යැයි පවසන්නේ ඔහු ඥානෝදයේ සංගීත ගුරැවරයා වූ නිසා නම් නොවේ. මගේ ජීවිතයේ අපූරැ රසාලිප්ත මොහොතවල් හදුන ගන්න ඔහු මට බෙහෙවින් උදවු කළා. සංගීතයෙන්. මට වඩා ගව් ගණනක් දුර ඉදිරියෙන් සිටිමින්.
දවසක් අපේ නිවෙස ඉදිරිපිට තිබූ සුනාමි නිවාස පෙළේ වූ නත්තල් උළෙළකට ඔහු පැමිණියා.ඔහු බීගත් තරම, දෙදෙනකුගේ වාරැවෙන් තමයි වේදිකාවට නැග්ගේ.ඔහුගේ ගීත ආදරෙන් අසා සිටි මා ඔහුට දීර්ඝායු පැතුවා. එය සවිඥානකව වූ ප්‍රතීක ක්‍රියාවක් බව මට හොදට මතකයි.
පියවි ලොව තුළ කොපමණ ගීත ඇසුවත් නින්දත් අඩ නින්දත් අතරෙ අභූත ලොවේ මා තනිවෙද්දි මා වටා සිටින කලාකරැවන් පිරිසක් අතරින් ඔහුට නිතරම මුල් තැන ලැබුණා. මගේ ආදරය ඔහුට ලැබුණා. ම දන්නා තරමින් ඔහුට (සංගීතය කණට ඇසෙන පමණින්)මධුර හඩක් තිබුණේ නෑ. නමුත් ඔහුගේ හඩ තියුණුයි, පරිකල්පිතයි, හැගුම්බරයි.මුහුදු රළ වගේ නැගෙනවා.බිදෙනවා. මේ සියලු ගුණාංග අතරින් මා වැඩිපුරම කැමති වුණේ ඔහුගේ හඩේ තිබුණු හැගුම්බර ගතියටයි.ඒ හඩේ එල්ලුණු කිනිතුල්ලකු වගේ ලේ සුගාරියක් බීල වැටිල ඉන්න මට හිතුණු වාර අනන්තයි.
සර් ගැන බොහෝ දෙනා කීවේ "බෝතලයක් දුන්නම සිංදු කියන ගායකයා"කියලයි. ඒ සර්ව පිටින් බලල උත්තේජනය ලැබූ අය. එහෙම කියන අයම ඔහු "ඔබ දේදුන්න ආකාසයේ..." කියන විට ඉල ඇට කැඩෙනකම් නටන ආකාරය මම දැකල තියෙනව. ඔහු කිතුණුවකු වුවත් ඔහුගේ අදහස් තුළ නිවන ගැන මතයක් තිබුණා. හද සන්තානය තුළ කරැණා දයාව පීප්පයකටත් වැඩිය පුරවා ගෙන තිබුණා. සමහර දාට දුම්රියපොළ පාරේ රා පීප්පයක් පෙරළගෙන ටොක ටොක ගගා යන මිනිසකු කීවේ "සද මිදුලට එනවා" ගීතයයි.
ඔහු තමා වටා සංගීත අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තකු නොවේ.දක්ෂ ගිටාර් හා වයලීන් වාදකයකු වූ ඔහු මුදලට වහල් නොවූ බව නම් හැමෝම දන්නවා. බෝතලේට යනවා කියන්නේ බේබදුකම නොවෙයි ඔහු අවංකයි. ඒ අත්දැකීම මා විදල නෑ.
ඔහුගේ තනු නිර්මාණ තුළ මානව සංහතියට දැනෙන යම් යම් දේ තිබුණා. ඇතැම් ගීතයක සරල තනු අතරේ කැරොල් ගීවල රිද්මය රැදී තිබුණා.ඔහු හොද වාදකයෙක් නිසාත් පල්ලියේ සම්බන්ධතාව නිසාත් එසේ වන්නට ඇති.
මා දිනකට මුමුණන ගීත හත අටකින් අඩුම තරමින් තුනක්වත් සර්ගේ. ඒ ඇයි දැයි තාමත් නොතේරේ.ඔහුගේ ගීත වෙනස් කර ගයන්නටවත් හිත නොදේ.


ඔහු වාමාංශිකයකු බව ඔහු මිය යන තුරැම මා දැන සිටියේ නෑ.ඔහුගේ ඒ අදහස් හැගවෙන ගීතත් නැති තරම්. සුනිල් මාධවයන්ගෙ "ජීවිතය සුන්දරයි.." කොලමෙ දුටු පසුවයි ඔහු වමේ කෙනෙක් බව මා දැන ගත්තෙ. ඒකෙන් ඔහුට මගේ ආදරය තවතවත් වැඩි වුණා.


අහෝ! ඔබ තවත් වසර 6ක් වත් සිටියා නම් මගේ දරැවත් ඔබට ආදරය කරන්නට තිබුණා...

Tuesday, February 23, 2010

මගේ ළමා චිත්‍රපටය






හැදි මිටට ඇලුණු
පිටි බත් හූරං කන්න..

කොට්ටං ගහට වහන
වවුලන්ට ගල් ගහන්න..

කූචෙක් අල්ලල
වලිගෙ නූලක් ගැටගහල
උඩ අරින්න..

බල්ලො දෙන්නෙක්
ඇලිල ඉන්න කොට
පොල් කෝම්බෙකින් ගහන්න..

හරකගෙ නැට්ට
උඩු අතට නවල
පිට උඩට පනින්න..

වැලි අහුරක් ඔළුවෙ දාගෙන
ඇටෙන් ඇටේ පීරල ගන්න..

බාදුරා ගොට්ටක් පලල
කුරැමිණි ගණන් කරන්න..

කෙසෙල් ගුල්ලෙක්ව
ගිනි පෙට්ටියක දාල
දවස් ගණන් තියා ගන්න..

කලටි කෑල්ලක් ඇමට දාල
ඉරටු තොන්ඩුවෙන්
ඉස්සන් අල්ලන්න..

ලෙල්ලයි කැනයි ගහේ තියෙද්දි
ඇඹුලක්ම ඉවර කරන්න..

කිතුලට බඩ ගාල කකුල හීරැනම
කැටවල තෙල් ගාල ඇලේ පනින්න..

දඩොලකට ගිනි පිඹල
පැණි නැති වද ඉටි
රහම රහයි කියල කන්න..

අම්මට හොරෙන් බක්කියෙන්
කීරමින් කරවලයෙක්
අරං ලෙවකන්න..

රසකිද වැලක එල්ලිල
බරොස් ගේ ටාසන් වෙන්න..

කහ ගැරඩියෙක්ගෙ නැට්ටෙන් අල්ලල
කරකවල විසි කරන්න..

බට තුවක්කුවට හරංකහ අල දාල
රතූ ගෙ පස්සට වෙඩි තියන්න..

කුණුහරැපයක් පොඩියට ලියල
අතින් අත යවන්න..

බුරැල්ලට කට තියල
උණු කිරි අදින කොට
කන් රත්වෙන්න වැස්සිගෙන්
නැටි පාරක් කන්න..

මාඩසාමි නැතිකොට
රබර් ජොබ්බ එකතු කරල
හොරාට විකුණන්න..

ඊතල කපනකොට
පිහිය පොඩ්ඩක් ගැස්සිල
මාපටැගිල්ලෙන් පෙත්තක්
වෙන් කර ගන්න..

කැටපෝලෙන්
පලා කොට්ටෝරැවට විදින කොට
ගල ආපස්සට ඇවිත්
තොල පලා ගන්න..

අඹ කාපු හරක් රැළ
ගොම දාල ඉවර වූණාම
ඇට පලල මද බලන්න..

වලලපු බල්ලගෙ ඇටකටු
ගොඩ අරං හෝදල
සැකිල්ල හදන්න....

අනං මනං වෙන්න පටන් ගන්නකොට
කෙල්ලෙක් ගැන හිත හිතා
නිදිය ගන්න.....


හිතින් අපහු ටිකකට
ජීවිතේ ආපහු යැව්ව
චිත්තර පටියක් හදන්න......






Friday, February 19, 2010

ළසෝ දුකින් කකියන හද.......



හන්තානෙට පා නගනා
මගේ සොදුරැ ළදේ නුඹට
ළසෝ දුකින් මා ගයනා
සෝගී පද නොඇසේවිද...

ළසෝ දුකින් කකියන හද
වැළපෙයි නෙතු කදුලු උරා
මම නුඹ ගැන සිතූ සිතුම්
පාවී යයි සිහින පුරා...

සිහින ලොවින් එපිට ලොවට
පියඹා යන සොදුරැ නුඹට
කදුලු පෙරෙන මගේ හදින්
සසුම් සුළග පවන් සලයි..

සමනළියේ ඝනදුර තුළ
පියාසලනු හැකිද නුඹට...

Wednesday, February 3, 2010

දුරැතු මහේ පැතුම්


උදුපියලිය මත දුරැත්ත රදනා
මේ මීකිරි මාසේ
ගෙපැලට වඩනා මල් ගෝමරියේ
වහුං ගෙහුං මොකටෙයි බං

කුරහන් යායම රන්වන් ගැහිලා
ඉගිලෙයි සීපද පැලට උඩින්
වහෙන්ඔරෝවක් මොක‍ටෙයි පැටික්කි
යහමින් ලණු ඇද වියා තියන්

ලූලන් මගුරන් උඹට ගෙනෙඤ්ඤං
ඇල් හාලෙන් බත සුවද කරඤ්ඤං
ඊළග දුරැත්ත පුසුඹ කරාපන්
කිරි සුවදින් උඹෙ කිරි සුවදින්

People may come,people may go, but I have to continue

idearavan

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.