Pages

Friday, October 28, 2011

 නොරිස්සීම



ඈත සීතල
ගිරි මුදුනක
උසම උස වනස්පතියක
තැනූ නිවසක
පාලු බව නැති,
මෘදු වදන් ඇති,
දිවිසැරිය සරිකළා
කුරුලු ජෝඩුවක්...

නිදහසේ සුවසේ
තුඩින් තුඩග
පිනි බිඳිති තවරමින්...

උඳුපියලි, මල් පෙති
නිදිකුමුදු මල් රේණු
රැගෙනවිත් දෙදෙනාම
තැනූහ මල් මාල...

වසත් කාලය සමරමින්
කුරුලු තෙම පිබිද
කිරිලියට දුනි
දිවියට අරුත...

තුන් මසකින් පමණ
කූඩුව පුරාම
කිචි බිචි හඬින්
පිරුණා මුළු නිම්නයම...

සතුට ඉතිරෙයි
හිම කැබිලිති මෙන්...

කුරුලු ජෝඩුවට
වැඩද වැඩි විය,
බරද වැඩි විය.

යාලු යෙහෙලි - පුංචි පැංචි
පැටවුන් දඟ කරනා හැඩ
රස වින්දහ සියලු සත්තු...

කාලය ගත වී යද්දී 
වැසි වැටුණා මොර සුරන
පැරණි නිවස අබලන් වී
හොඳටම ලං වුණි කැඩෙන්ට...

කිරිලිට බිය පැංචා ගැන
කුරුලු තෙමෙත් බියෙන්ම හිඳ
නව නිවසක් තනනා හැටි
කතිකා කර ගති දෙදෙනම...

හිමිදිරියෙම වටකුරු වුණු
පිනි බිඳුවක් බීගන්නට
මල් රොන් පිස ගෙන එන
ඉල් වැස්සෙන් පණක් ලැබූ
සුළඟට පිටුපා යන්නට
සිද්ධ වුණා කුරුල්ලාට
නිවෙසක් හදනට
තැනක් සොයන්නට...

එදා රෑත් වැසි වැටුණා
කූඩුව තව තව බිඳුණා
කිරිලිට ඉවසුම් නැතිවී
කුරුලු තෙමේටම කෙටුවා...

කුරුලු තෙමේ පිටව ගියා
පසුදින උදයෙම එන්නට...

සැම තැන වතුර පිරී
පැලුණු ඉරි පිරී ඉතිරී
වැව් දිය, ගං දිය ඉතිරී
සැම සතුන්ම ප්‍රබෝධවී...

පසු දිනයේ වනය පුරා
තුරු හිස් ගස් බෙනද පුරා
නිවහනකට තැනක් සෙවූ
කුරුල්ලාට මග වැරදුන...

දින හතරක් දෙනෙත් ආයා
පුංචි එකා දෙස බලලා
කඳුළු බිංදු දහස් ගණන්
ඇගේ නෙතින් ගලා ගියා...

කුරුල්ලාට සිදු වූ දෙය
කිසිවකුවත් දන්නේ නැත,
ගස්වැල් සුළඟට කිව්වා
සුළඟට අමතක වූවා...

කෙසේ නමුත් ගෙයක් හොයන්
කුරුල්ල පැමිණේවී කියා
නිවසක් තනලා දෙන්නට
අරන් යන්න ඒවි කියා
සිතා සිටිය හැටි එනකොට
මතකය අමතකව ගියා...

෴    ෴     ෴  ෴    ෴     ෴ 

වනය පුරා හැමතැනකම
නිවෙසට තැනකුත් හොයනව
කුරුලු ගොයෙක් ඒ අතරෙදි
තටුවක් ඉරලා දානව...

තටුවට බරපල හානි
සිදු වූවද ආපසු එන
අදහස ඇත නෑරම ඔහු
සෙමෙන් සෙමෙන්
තුරු මුදුනින්
ලතාවලින් ජවය අරන්
ගමන් කළා අහස කුසින්...

දින සති ගෙවිලාම ගියා
තමුන්ට හුරු සුවඳක් වෙත
කුරුලු තෙමේ කිට්ටු වුණා...

කඳු මුදුනේ ඇති ගහ යට
පරඩෙල් ගොඩකුත් තියෙනව
ගහ මුදුනේ පොඩි කූඩුව
කලින් ලෙසම සිනහ වෙනව...

රූං කියා යන්න ඕන
නමුත් අතක් බිඳ වැටිලා
සෙමෙන් සෙමෙන් කඳු මුදුනට
සේන්දු වනාවා දැනුනා...

පාළු සුවඳ පමණක්මයි
ඉතිරිව තිබුණේ නිවසේ
දරුවයි ඇයගේ රුවමයි
දෙනෙත් නිතර සොය බැලුවේ...

සුසුම් හුඟක් උණුසුම් වී
දෙනෙත් නිලංකාර වුණා
ඈත අහස දෙස බලමින්
දුක දෙවියන් හට කීවා...

ඈත අහසෙ ඈතම තැන
දෙදෙනකු පියඹා යනවා
පුංචි තිතක් කොමා දෙකක්
ලෙස දෙන්නව පේනව....

කුරුලු තෙමේ කඩා වැටුණ
දෙනෙතින් ගලනා කඳුලැලි
කඩා වැටෙන්නේ කොහෙදැයි
දකින්නට කියා සිත්වී
සෙමෙන් සෙමෙන් බිම බැලුවා...

උඳුපියලිය පිළිස්සිලා
මල් සියල්ල මිලිනවෙලා
දිය සීරාවට මොනවද
බොර පාටක් එකතුවෙලා...

දැස තෙමිල හින්දාදැයි
තෙමෙන දෙනෙත් පිස දැම්මා
පිස දාන්න පිස දාන්න
කඳුලැලි තව තව ගැලුවා...

සිරුරේ බර නිදහස් වනු
එකවර ඔහුහට දැනුණා
පරිසරයේ සියලු සද්ද
එක මොහොතක් නතර වුණා.












 


Friday, October 21, 2011


පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.