Pages

Thursday, December 5, 2013

ගබ්සා




නීති දැම්මත් මොනතරං
එපා කිව්වත්  මොනතරං
චෙක් කළත්  මොනතරං
දවසකට ලී කොටන්  මොනතරං
එනවද  මොරටුවට හංගං?





කැම්පස් !






රජ උයනේ සිරි නරඹමින් සිටි
ආගන්තුක මොහොතක
බමරුන් සිඹි
මලක් පෙන්වූ ඔබ,
       "මල් පෙති
        පොඩිවී
        තැලී
        කිලුටුවී ඇතැයි ද
එහෙයින්,
        ඉන් පලක් නැතැයි "ද
කී ඔබ,
අද...

පෙති මත
නිලමැස්සන්
හෝහපුටුවන්
කෝඳුරුවන්   
වැසූ
මලක් ළ'මැද මත තියාන
මා ඉදිරියේ රඟන අපූරුව.

Creative Lighting and Camera Work in the Assassination of Jesse James

Creative Lighting and Camera Work in the Assassination of Jesse James

Friday, November 1, 2013

ප්‍රතිබිම්බ






හොඳට ඉර පායපු දවස්වලට කලපුවට වටෙන ප්‍රතිබිම්බ හරිම අපූරුයි. කරු මුල්, කයිරු මුල් අතරෙ කදුරු ගෙඩි පාවෙමින් තියෙන මොහොතක ටික කාලයක් ආපස්සට යන්න මට ඕන වුණා.
ඒ කිවුල් වතුර, ප්‍රතිම්බ සහ ජීවිතය ගැන ගොඩක් දේ මගෙ ඔළුවට ගෙනත් අතහැරියා.  මේ, ඒ දේවල්වල සංක්ශිප්තයක්.



දිය නිසල නම් ප්‍රතිබිම්බ නිසලය.
දිය සසල නම් ප්‍රතිබිම්බ සසලය.
ඇතැම් විට නිසල සෙවණැලි අලංකාරය,
ඇතැම් විට සසලව බිඳීයන සෙවණැලි ඇලංකාරය...

තාත්වික මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ වෙයි.

ජලයේ ඇති ප්‍රතිබිම්බ
ගැඹුරුය, ගුප්තය.
කොයි මොහොතේ හෝ
කැළඹී බිඳී යා හැක...

එක් අතකින්,
ජීවිතය පුරාද ප්‍රතිබිම්බ බොහෝ වේ.

සමහරක් උඩුකුරුය,
සමහරක් යටිකුරුය.

ජීවිතය තුළ
වරෙක හමුවන්නේ
උත්තල දර්පණය,
වරෙක
අවතල දර්පණය.

සෙවණැලි
ආලෝකය ඇති හැමතැනම ඇත.
වරෙක වතුර මත
වරෙක සයුර මත
විවිධ වස්තූන්ගේ
ප්‍රතිබිම්බ වැටී තිබෙනු පෙනේ.

සමහරවිට අපි
අමාරුවෙන්
තලයක
යම් මතුපිටක
ප්‍රතිබිම්බයක්
තනාගන්නට දඟළමු.
එය
අසාර්ථකවීද
අපි මානසිකව වැටෙමු,
ජීවිතය දුකම යැයි සිතමු,
ජීවිතය යනු
කිසි දිනෙක
ප්‍රතිබිම්බයක් ලබා ගත නොහැකි
වස්තුව'කැයි සිතමු.


වෙන'තකට,
අපේ සෙවණැල්ල
අපේ ප්‍රතිබිම්බයයි.
උඩු හෝ යටිකුරු ප්‍රතිබිම්බය
අදාළ වස්තුවටයි.
නමුත් සෙවණැල්ල
අප ම ද?


තව'තක්
ප්‍රතිබිම්බය හැදෙන්නට
ආලෝකය අවශ්‍යය.
දර්පණයක් අවශ්‍යය.
වර්තනයක් අවශ්‍යය.

අදාළ,
නාභි දුරක් තිබේ.
ප්‍රතිබිම්බ දුරක් තිබේ.
වස්තු දුරක් තිබේ.

නාභි දුර වෙනස් වනවිට
වස්තු දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ ස්වරූපය වෙනස් වේ.


එමනිසා ප්‍රතිබිම්බ වෙනස් වේ !




මෑත කාලීනව හැදුනු මගේ ප්‍රතිබිම්බ බොහෝ ඉක්මනින් බිඳී ගිය අතර ඊට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ මගේ වැරදි අවබෝධයයි. විශ්වාසය නමැති ගල් කුල හරිම බර බව බිඳී ගිය ඒ ප්‍රතිබිමබ මා හට කියා පෑවේය. කොහොමත් බිඳෙන ප්‍රතිබිම්බ ඉන් විගසින් බිඳෙන බව මට පසක්`විය.

Wednesday, October 2, 2013

මොළය රවටනා ගුප්ත රසයක් ...

ඈත අහසේ කෙටුණු කවියක්
ඈත දියඹේ බිඳුණු රළයක්
ඈත ඇදෙනා ඔට්ටපාලුවක්
මෑත දිලෙනා ඈත තරුවක් ...

ගිනි කඳු මැදින්
ඕවිටි උඩින්
උල්කා මතින්
ගිනිපෙළි යටින්
ග්‍රහකයක වේගෙන්
උත්තර ද්‍රැවයට ඇදෙන
සෙන්ධවයන් මෙහෙයවන
නුඹ වරපටක් ...

හද විදුලියේ කම්පන ගඟක්
පතුළ නොපෙනෙන උමං නළයක්
මොළය රවටනා ගුප්ත රසයක්
ම'දෙපයින් එරෙන වගුරු භුමියක් ...






Friday, September 20, 2013

මෝයට කිලෝමීටර භාගයක් දුරින්...


ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.


කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
          "මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
           එක්කො,
           1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
           නැත්නම්,
           2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "

මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....

ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.


ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
          "3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."

මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින්  රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.


ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.




ප. ලි.
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]







    
මා ධාරාණිපාත වරදක් කළා...

1 ට වඩා 2
විශ්වාස කළා,
1 ට පස්සෙ 2 
කියල
අමතක කළා.

...කළා වරදක් ධාරාණිපාත මා
















Tuesday, September 10, 2013

පළිගැනීම

                   
 16.08.2013
කළු ගංමෝය...
රාත්‍රී 10.00

තරු අඩු, කණාමැදිරියන් වැඩි රැයක්!

                යෙ අඳුර වැටීගෙන එන වෙලේ මං ගියා මුහුදු වෙරළට. අවුරුදු ගාණකට කලින් ඇය මා දමා ගිය තැනට. මං ගියෙ හිස් අතින්, කොන්ඩෙ පීරමින්. මුහුදු හුළං සැරට මගේ කෙස් එහෙ-මෙහෙ වෙන්න පටන් ගත්තා. එදා, ඈ මා දමා ගිය දවසෙ මට පේන පේන හැමදේම එහෙ-මෙහෙ වෙන්න ගත්ත. කෙස් කෙළින් වුණා. සම මතුපිට තිබුණ රෝම ස්තරය පිච්චෙනව වගේ දනුන. ඒ ගඳ ආව.
                එදා, මහ මුහුදට හොඳටම තරහ ගියා. එකක්, එයාගෙ වතුරෙ ලුණු රහ ගැන එයාට ලැජ්ජ හිතුන හින්ද. අනික, වෙනද වගේ මං මුහුද දෙසට පීනගෙන ගිහින් එයාගෙ කන්‍යාභාවය අහෝසි නොකරපු නිසා. එදා, මහ රෑ වඩදිය ගලනකං මගේ ඇඟිළි තුඩුවල කන්‍යාභාවය නං අහෝසි වුණා.මගේ කටේ දත්වලින්. අන්තිමට අඟිළි තුඩු ඉදිමෙනකන්ම.
            අවුරුදු 13ක් ගත වුණා. අද වනතුරුත් මහ මුහුද, එයාගෙ කොට සායවත් මගේ හංපඩ ඩෙනිමවත් දක්කෙ නෑ.
                   අදත් මුහුදට හොඳටම තරහ ගියා. මොකද, මං එයාව බලන්න හිස් අතින් කොන්ඩෙ කසකස ගිය නිසා. ඇය හිතුවෙ මං ගල් බෝතලයක් හරි මොනා හරි රට බීමක් අරන් එයි කියල. ඒ වැඩේ වැරදුනා. වෙනදට වඩා සැර රැළි මගෙ ඔළුවටත් උඩින් ගියා. කන් දෙකම වැලිවලින් පිරුණා. වෙනද කකුලෙ හැපිච්ච ගල් මාළු, සිප්පි වෙනුවට ඉකිරියොයි, බෙලි කටුයි මට වද දුන්නා.






කමක් නෑ...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...








 
  

Wednesday, September 4, 2013

අතහැර දැමීම...

නිල්පාට පියළි ඇලවූ
කඳු පන්තියේ
උසම කඳු මුදුනට ගිහින්
බිමට දමන්නට කලින්,
තව වරක්වත්
සිතන්නට තිබුණා නුඹට
ඒ වීදුරු බෝලය ගැන, හිතින්...


සුමට වීදුරු හදන්නෙ
රළුම රළු
කළුම කළු
උණුම උණු
වැලිවලින් කියල
නුඹට අමතකයි.

ඒක එහෙමයි,
පස්සෙ ලස්සන ගොඩක් දේ
හදන්න කලින්
අමුයි, රළුයි, ගොරහැඩියි...

කාගෙ ආරකින් ද මන්දා,
නුඹෙ වැඩේම උනේ
වීදුරු බෝලෙ
නාභිය සෙවීමයි...
ඒ නාභි දුර සූත්‍රයක දමාගෙන
ළතැවුලේ බර සෙවීමයි...
බැරිම තැන,
බිඳ බලන්නට තැතනීමයි...

දැන් තේරෙනව ද?
අපාරගම්‍ය නො'පණ
වීදුරු බෝලයකට වුව ද
ගැහෙන හදවතක් තියෙන්න පුළුවනියි...




සුදු ආලෝකය
වෙන් කළත්, නො'කළත් වර්ණ හතකට
පාට විභේදනය කළත් නුඹේ හැඟීම්වලට
ඒ වීදුරු බෝලය
දන්
කුඩු වී ගිහින්...








Friday, August 30, 2013

ඔප්පු කිරීම !

උනා දැමීමි මගේ
කොටු කොටු කමිසය විගස,
තැබුවෙමි ම'ළය
මැෂිනය මත
හදවතේ ෆොටෝ කොපියක් ගන්ට...

ඒ විදින කිරණ
පපුව පසාරු කර
නොයන බැවින්
තැබුවෙමි වෙන මැෂිනයක
පපුව හරහා විදුලිය ගොස්
ඇතුළෙ දේ පිටට පෙන්වන...

අදහාගත නොහැකි තැන
ගල් ගෙඩියක් ඇති බව
හද තිබිය යුතු තැන,
පිහි දෙකක් ගෙන
විවර කෙරුවේ
මගෙ පපු කැවුත්ත...

මේ බලන්න,
අනේ! මගෙ හදවතිනුත්
උණු උණු ලේ
විදින අපූරුව.

..............................................

දැන්වත් සතුටුනම්
පෙනහැලි, අග්න්‍යාශය
අක්මාව සහ ඉතුරු
පොඩි දේවලුත්
එළියට ඇද
එම්බාම් කරන්න
ම'සිරුර.




     

Monday, August 26, 2013

ම'ළය ඉපනැල්ල සේ දැවෙයි...

"මා එක්ක'විත් බොහෝ දේ
නැති කරගත් බව "
ඔය වහෙන් ඔරෝවෙන්
මට දැනෙයි
ම'ළය ඉපනැල්ල සේ දැවෙයි...


මා සමග නෑවිත්
දොස්තරෙකු හෝ නැවියකු සමග
ගියානම්
නුඹ මව්පියන් ද තුටින්,
සහෝදරියන් ද තුටින්,
ඊටත් වඩා නුඹ සතුටින්.

සැමදෙයකින් ම
ගලවා-රැකගන්නට
රෝමන් ප්‍රේමියකු
සේ පපුව පුම්බාගත් මං
අද මෙසේ පසුතැවෙන්නේ
උදරය පුම්බාගත්
හැලගෙම්බෙකු සේයි
මට හැඟෙයි...

නුඹට ගොඩක් දේ දෙන්ට
මම, මා දියකර හරිමින් සිටියෙමි.
ඒ ටිකට,
නුඹට ඕනෑ ගොඩක් දේ
නුඹෙන් ගැලවී ගොස් ඇතිබව
මං දැක්කෙ දැනුයි!
ඒකට,
දෙන්න පුලුවන් නම් උඹට
සමාව දියන් මට...

එළවළුවක් එක්ක
බතක්
නැත්නම් රොටියක්
කන්ට
මා සමග හිඳි
නුඹට සිදුවිය...
ඒත් අමතක නොකරන්න
දැනුවත්ව හෝ වැරදීමකින්
යන්ට සිටි තැනට
ගියානම් නුඹ
අග බිසවකි
මේ වනවිට නුඹ...

වැටී සිටින්නට
මගෙම බිම් අඟලක් නොමැති,
ම'පයින් තද කරන්නට
තිරිංග ද නොමැති,
මසක් පාසා සරසන්නට දුහුල් ද
ගෙනෙන්නේ නැති
ම'දිවිය ගෑනියකුට, දරුවකුට
නො'වටිනා බව
අරුමයක් නැති...

මට නුඹ ඉදිරියේ
ජීවිතය යදින්නට නොහැක.
එය හරියට
කැටපත ඉදිරියේ
මා, මගෙන්ම යදින්නාක් වැන්න.

උප්පත්තියෙන්ම මා
දුලබ මිනිස්ගති
රැගෙන'විත් බව
වරෙක හිරිමල් කෙල්ලක
කියුවිට එහි ගැඹුර
නොතේරුණි.
නමුත්,
මිනිස්කම්වලින් පමණක්
බඩ පිරෙන්නේ
හිත පිරෙන්නේ
නැති බව
දැන්නම් හොඳින් තේරුණි.



 



ම'දිවිය
නොවටිනාමුත් කාට
වටියි මට ...
මන්ද,
දෙවියකු වන්ට
මට වුවමනා නැත.
මිනිසකු වී
උපදින චක්‍රය බිඳිනට
මට වුවමනා ඇත.


 

Tuesday, August 6, 2013

ඉස්ටේසමේ ගැට්ටේ සිට...  (හෙවත් අනාගතයේ දින කීපය)

දුම්රිය වේගෙන් යාවි,
හැමදේම ඉක්මන් වේවි.
ඒත් එක්කම,
සියල්ලම අහිමි වේවි.

+ + + + + + + + + + + + + ++ +

වෙලාවට කලින්
වැඩට යන්න
මට වුවමනා නෑ !







Tuesday, July 23, 2013

නිදන්න ! එළිවෙන්න තව කල් තියෙයි...

ෂ්... ෂ්... ෂ්...
පළගැටියනි
කෑ නොගසන්න,
ඉතින් ඈ ඇහැරෙයි...
තොල් පොටවලින් මොනවදෝ
මුමුනමින්
මගේ නිල්මිණ
ම'උකුලේ නිදයි.


තවම රෑ දෙකයි
පාන්දර එළියට තව දුරයි
නිදන්න !
එළිවෙන්න තව කල් තියෙයි.

කන් පෙත්තෙන් පහල
ආසාවට.. හීනියට.. හපනවිට
නින්දෙන්ම ඔලුව වනමින්
රස්නෙ හුඟාරියක් පිට කළවිට
අනේ මා උකුල
හිමාලය කර දෙන්ට
පුලුවන්නම්... නුඹට.

හා...  හා...  හා...
එපා අස් අරින්න
මට නුඹ තුළට
කිමිදෙන්න.. ඉඩදෙන්න..
නුඹඇඟේ රස්නය හැකි පමණ
මට උරා ගන්නට ඉඩදෙන්න.

රස්නෙ හුස්මක් පිටකර
නුඹේ හිස මගෙ උකුලට
කඩාවැටෙන විට
මහා රූස්ස ගසක්
කියතකින් හෙලන
හඬ මට ඇසේ
බර මට දැනේ...

කම්මුලක් රත්වෙනකොට
මූණ හරවා අනෙක් කම්මුල
මාරු කරන නුඹේ මූණ
මා කවදත් කැමති
මුහුදට සමකරමි...
පටහැනි නොවුණත් මගෙ හිතට
හඳට නුඹ හොරෙන් පෙන්වමි.


නින්ද ඕනෑ වුණත් ම'නෙතට
නිදි වරමි. නුඹ නිදි කරවමි.



මට පේන මානයෙන් එපිටට
හඳ ඈත්ව යයි...
කමක් නෑ රත්තරන්
නිදියන්න  ! එළිවෙන්න තව කල් තියෙයි...

උඳුපියලිය මතට බාන
පිනි වැස්ස
නුඹේ හිරිගඩු පුප්පන විට,
තව තවත් පටු වී
මා උකුලට කූටාලු වන
මේ ආත්මීය අලුයම !
කවදාවත් නොගෙවේ නම්...







 





 







 

Friday, July 19, 2013

පව !


ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...

මලකුණ විකුණුවා මං
රන් ව්‍ ඇට හතරකට...



ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...

රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...


අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...



මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...

ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...




එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?







 







Wednesday, July 10, 2013

අහම්බෙන් වගේ...

ඉපනැල්ලේ පිදුරු බිම්මලක
පුසුඹ දැනෙන විට
රබර් කට්ටියේ තට්ටයට
හඳ, එළිය වක්කරන විට
වඩදිය පොල්රුප්පාවම
තෙමන විට
ඔබ සිහි වුණා
අහම්බෙන් මට...

ගුල් හැදුනු බිත්තියේ
කටුමැටි
කුරුටු ගාමින් සිතුවිලි
මුදාහැරී හැටි
බිඳෙන ලුණු රළ
මුමුණනා හැටි
සිහිවේ මා කවියෙක් වූ හැටි...

කිරි කවඩි ඉහිරෙන
ඒ මුහුදු වෙරළේ
තාමත් රුවල් ඔරු
දියඹ හා නැටවේ 
ඩෙල්ටාව පසු කරන
හැම, නේක වාරේ
මගේ මතකයේ
දිය බුබුළු නැංවේ...






[ගඟ මුහුදට වැටුණු තැන...]



Monday, July 1, 2013

චීන මැටි බඳුන







ඒක,
චීන මැටි බඳුනක්
ටැංග් රාජ වංසයට අයත්.

මට ලැබුණේ
කිමිදෙද්දි
මම රිංගපු
මුහුදුබත් වූ
බ්‍රාවෝ වර්ගයේ
නැවෙන්.

ලොකු කටගැස්මක් නෑ...
මහා ලොකු පෙනුමකුත් නෑ...

ඒත්,
සමහර තැන්
හරිම ගොරෝසුයි
සමහර තැන්
හරිම සුමුදුයි
බොහෝ තැන් හරිම සුමටයි...


ඇතීනා ගේ  ද
දන්නේ නෑ.

මගේ අතපයට හරියන
හන්දිවලට දරා ගන්න ඇහැකි
උඩ  දාල අල්ලන්න හැකි
බිම දිගේ රෝල් කරන්න පුළුවන්
අතේ එල්ලන් යන්න පුළුවන්
කරේ තියන් යන්න පුළුවන්
විදිහේ බඳුනක් ඒක.

ඇරත්,
මට හිතෙන්නේ
කකුල් දෙක මැද්දේ උනත්
තියාගන්න පුළුවන්.

නමුත්,
හරිම පුදුම වෙනසක්
ඒකෙ  තියෙනවා...

අඳුරෙත් ඒක දිලිසෙනවා.
හරියට,
බැස්කවිල් දඩ බල්ලාගේ
ඇස්වල ගාපු
පොස්පරස් වගේ.

උඩ දාල අල්ලල
සෙල්ලම් කරන්න හිතෙනවා
බිඳුනත් කමක් නෑ  කියල,

හැබැයි බිම වට්ටලා නෙමෙයි.

ඒක
වටිනවා...
ඊටත් වඩා
එක හරියට,
වේලාසනින් ආපු නැති
වසන්තයක් වගෙයි !


* * * * * * * * * * * * * * * * * * *

 චෑහ් ! 
මං  නැති ටිකේ
චීනෙක් ඇවිත්
ඒ මැටි බඳුන
ගෙනිහින්... 










 















Monday, June 17, 2013

කුරුටු ගාන CR පොත - පිටු අංක 80

14.06.2013
රාත්‍රී 11.55
සුළං බොහොම තදයි...


]පනින්නටවත් සීමාවක් නොමැති
අසීමාන්තිකයාගේ රැය[


ඒක  අඳුරු රැයක් !
ඇඹලයින් ද
මා කෙරෙන් ඉවතට ගිය.



මා  ද , ම'සිතුවිලි ද
අඩුම ආයුෂ කලක් ඇති
මැයි මැස්සෙකු වූ
මැයි මාසයේ,
ඒක කුණාටු රැයක් !

පංගුකාරයින්ට
ආවේස නොවෙච්ච
ම'දිවිය,
පංගුකාරයින්ට දෙනු රිසින්
සැරසුණු,
රැවටුණු
ඒක  මූසල රැයක් !

සිතුවිලි බර
හදවතට දැනෙන'තරේ
නුඹ මගේ
ඇහි පිහාටු ගනිමින් සිටි
ඒක දිරාපත්වන රැයක් !

විකාර රූපී වුවමනාවන්ට
එරෙහිව, මගේ සෛල සටන් කළ
කාබන්ඩයොක්සයිඩ්
වැඩිපුර පිටකළ
එපා උන තැනකදී
රස්නෙ පහරක රස්නෙ
නිතඹට දැනුනු 
ඒක  අකාබනික රැයක් !


ඇත්තටම හෝ
අනවශ්‍ය දෙයකට
දර-දිය අදිමින් සිටි
ආකර්ෂණයක් පමණකැයි කියූ
ඒක නිව්මෝනියා රැයක් !

රිදවීම-නොරිදවීම
රැවටීම-නොරැවටීම
ඇත්ත-නැත්ත
අසීමාන්තික-සීමාන්තික
විකර්ෂණය-ආකර්ශනය
අතරේ දෝලනය උන
මා,
අවලම්භ බට්ටෙකු වූ
ඒක මංමුළාකාරී රැයක් !


 සඳකට හෝ කිසිදු තරුවකට
සිඹින්නට බැරි ලෙස
පෘතුවි කබොල මත
ඝනව වැඩි
නවද ගස් දෙකක
දැවටී වැඩෙන
රැසකිඳ වැලක්
ඉන්ම, සුවපත් වන රැයක් !

මහපොළොවේ කාන්දම් බලයට
හැමදා විරුද්ධ උනු මා
හැමකෙකුගෙන්ම විකර්ෂණය වී
නුඹ ගැබේ සදහටම
නිදන්ගත වූ
මේ මොහොතේ පටන්
ඒක සොඳුරු රැයක් !












 




 

Monday, June 10, 2013

මළවුන්ගේ දවස

ලෝකයම රවුම් බව
තේරුණා  මට...

ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.


සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...

නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.


බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.

නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.






මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.


* * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...











 

 


Wednesday, June 5, 2013

නැත. 

දිනෙක
මට වඩා විප්ලවකාරී
කවියෙකු
සිනාසෙන්නෙකු
මගපෙන්වන්නෙකු
හඬන්නෙකු
මිනිසෙකු
නුඹට හමුවනු ඇත...

නුඹ මා අතහරිනු ඇත.

එත්,
දෙනාසාපුට
තුලින් රිංගූ
නුඹේ ෆෙරමෝන
මා නුඹ පසින්
ඇදගෙන යනු ඇත...



* * * * * * * * * * * * * *

නැත. 




Tuesday, June 4, 2013

වල දැමූ මතක ගොඩ ගමි.
ගොඩ ගත්  මතක වල දමමි !   




අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනක්
ම'සිතින් රැගෙන
කම්හලේ දොරටුව මුලදී
ඔබ හමුවුණෙම්...

සිතුවිලි තුන
එකිනෙක පරයමින්
රඟන්නට පටන් ගති...
ඔය දෑස්
බලා සිටියාදැයි
අදටත් මම අසමි...
කට කට ගා
මගේ කෘන්තක
ගැටෙන විට
ඔබ දෙපසට ගස්සා ලූ
කොන්ඩාකරල් දෙකේ බර
මගේ හද ගැඹුරටම දැනුනි...

එක සිතුවිල්ලක්
මට පහල වූයේ ,
රිදියට ගලායන
ගංදෑලේ
නිදමින් හුන් විටදී ය...

දෙපයේ පැටලෙන
සීතල වතුර මකුළු දැල
ඍජුව ම 'නෙත් හැරවුයේ
හිස් අහසටයි...

කළුගඟට ඉහළින්
තත්පරයට මීටර ගණනක වේගෙන්
චන්ද්‍රිකාවක් ඇදී යයි...

       "තාත්ත වේගවත් රියැදුරෙක්...
                          මාත් රේස් පැද්දොත් නරකද ?"


මගේ ඒ වියරුව
සල්ලි කඳු ගොඩ ගසනවා
නිසැකය...

* * * * * * * * * * * * * * *

සිතින් දැකි
දෑසින් නොදැකි
හොල්මන් සමග
දොඩමළුවන්නට
වුවමනා විය මට ...
දූව පන්සල පාරේ සොහොනේ
නෝනිස් මුදලාලිගේ
බෑණාගේ සොහොනේ වල
මට ඊට උදව් විය ...

අඩි ගණන් උසට
මිනී  පිච්චුන එතන
හතර ගාතය විසිරුවා
උඩුබැලිව
අහස දෙස බලා හිඳින මොහොතේ
හඳ, මා මුවට
වචන වට්ටමින් සිටියේය...
දෙවැනි සිතුවිල්ල සිතට නැගින.

                              "දොස්තර කෙනෙක් වුණානම් මරු !
        පැලෙන්න හම්බකරතහැකි "


මේ මොහොතේ පසුතැවෙන
ජීව විද්‍යාව මට තුරුලු  විය.
මං  ජීව විද්‍යාවට තුරුළු වීමි.

* * * * * * * * * * * * * * *


කාලයාගේ අවෑමෙන්
නිතර නිතර ප්‍රශ්න තුනක්
අහන්නට වීමි ඇගෙන්...

                               "අඳුරත්, තෙරක් නොපෙනෙන අහසත්
                          හඬ ගසන්නේ
                මට ද? නුඹට ද ? "


                "හඳත්, ගැඹුරු ළිං පතුළත්
           හඬ ගසන්නේ
මට ද? නුඹට ද ? "


          "ඉක්කාවත්, ඔක්කාර රසයත්
     වෙන්කළ හදවත ඉකිගසන්නේ
මට ද? නුඹට ද ? "


අදටත් පිළිතුරු නොදුන්
මේ නටබුන් ප්‍රශ්න
බොහොම සංයමයෙන් යුතුව
හදවත කනිනවා
දැනේ තදට මට...

එක හුස්මට
පොත් කියවන කාලෙක
රතු පොත් රාක්කයක්
තුරුලු කරගෙන
මියගිය තාත්තගේ
ඇඳ  පුලුස්සන්නට පෙර,
පුතකු ලෙස ඒ මත
අවසානයට වතිරුනෙමි...

මුදුන් වහලයේ
මුදුන් උළුකැටවල
කුමේර බිඳී ඇති ගුල්වලින්
අහස මට දිස් විය...
එවෙලේ මට තුන්වැනි
සිතුවිල්ල පහල විය...

"උඹට පිස්සුද?
ද්‍රව්‍යාත්මක සංකල්පයක බරට එරෙහිවන
ගර්ෂණය සොයන්නේ?
මුලාව සහ වංචාව
භෞතිකව සූත්‍ර ගත කරන්නට
පුළුවන් උපායක්
ඉගෙන ගන්නේ !"












අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනත් 
ම'සිතින් දරාගෙන
කම්හලේ දොරටුව මුලදී

ඔබ මා ද
මා ඔබ ද
මග හැර ගියෙමු.
 





















Friday, May 31, 2013

සිඹින්නට ඕනෙමයි
ඔබේ ඔය
නිදිකුම්බා නෙතු යට රත...

පෑලදිග දිගහැරෙන
රත් පැහැයට
ම ගේ මුවේ ගුරු පැහැය
එක්කොට
සංකලනයෙන් එන පාටින්
නුඹට තියමි තිලක...

වැහි පොදටවත් නොසේදෙන
ඒ  තිලකය නුඹ
ඈත විල්ලුවේ උසම තැන හිඳ
තෙත මාත්තු කරන'යුරු
මේ දැනුත් දැනේ මට...
 

හැමවෙලේම ම' වටේ කැරකෙන
නුඹේ රවුම් රවුම්
රස්නෙ හුස්ම ටික
හදවතේ සීතල හර්ත් පේෂීන්
තව තවා පණපවන අපූරුව.

* * * * * * * * * * * * * * * * * * * *

අනේ බිරින්දේ !
උඹේ සිනිදු හා ලොම් ටික
කොයිවෙලෙත් කිතිකවනවා
මගේ සියොළඟ... 









 

Thursday, May 30, 2013

වෙසක්


ඒයි ! දුයිෂෙන්,

බලපන් ! අපි අර හදපු
වෙසක් තොරණෙ
බල්බ් ඔහේ පත්තු වෙනව....

බලපන් !  දුයිෂෙන්,

මගෙ  මාමයි නැන්දයි දෙන
දන්සැලේ  පෝලිම.


- අල්තිනායි

Thursday, January 3, 2013

ඔයත් හරියට
බම්බලපිටිය දිගට 
කැළඹෙන, පහළින් ගල්ගොඩට
මුහුද... අර මුහුද 
වාගෙමයි මට
කිව්වා ඔබ දවසක...
                                       
 
ඔව් ! ඔව් ! මමත්                                 
ඒ මුහුද වගේමයි.
                              

ඇවිත් හැමෝම
කරන - කියන
කිතිකවන - ලෙවකන
සියලු දේ බලාන
ඉන්නවා... ඉන්නවා...
තොල කට විකාගෙන.


                            වෙන මොනා කරන්නද ?
               
    
 
                                                

Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.