Pages

Friday, September 20, 2013

මෝයට කිලෝමීටර භාගයක් දුරින්...


ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.


කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
          "මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
           එක්කො,
           1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
           නැත්නම්,
           2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "

මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....

ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.


ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
          "3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."

මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින්  රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.


ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.




ප. ලි.
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]







    

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...