Pages

Tuesday, February 13, 2024

ලතිකා ජෙරමියා වැන්දබෝනා රණසිංහ හෙවත් චප්ප කළ හද

හුස්ම අහුරක් එක්ක

විසි කළෙමි මම

කලුගං මෝයට

උලුප්පා ගලවා

පට්ට පතුරු ගසා

චප්පකර තුන්වරක් කෙළගසා  

මා හද ... 


සුළියකට හසුව

ගසාගෙන ගියත් 

මුහුදට ඒ් හද 

පෙරළි පෙරළී 

පිම්බි පිම්බී

එනවා නැවත

මුහුදු බෙල්ලන් පිරි

වෙරළට ඒ් හද...








Friday, February 9, 2024

සරුංගලය සහ උඩුකුරු තෙරපුම





සරුංගලයකි නුඹ

සිහින්ය හුයකින් මා අත රැඳුණු 

ඈත සිතිජයේ පාවෙන්ට ඉඩදී

මමද බලාඉමි

හුය තදින් අල්වාගෙන...


බියක් විය මට

සමබරව නොමැතියි

හැඩට ඇලවුවද

කුරුලු තුඩකින් 

බිඳී යායැයි...


හුළං වේගෙන් හමනවිට 

ම'අත කැපෙන්ට තරම් වෙයි

හුය කැඩෙන්ට නොදී

ඇඟිලි ලෙයින් පෙඟී යයි...


* * * * * * * * * * * * * * * *


ඇතැම් දිනවල

තද හුළං නොමැතිවද 

ම'ඇඟිලි කැපී

ලේ ගලායයි...

Friday, December 6, 2019

කාලය හරහා වූ ගමන

මේ ලියන හැමදේකට
පණ ‌දෙන්න පුලුවන් නුඹට...

ඒ මතකයට
ඒ අතීතයට එරෙහිව,
මියැදෙන්න බැහැ ‌නොවැ මට.

වළාකුලු අතර ක්ෂණයකින් සැඟව ගිය
හඳුනාගත් ආකාශ වස්තුව
ඔබම විය,
නුඹ හඹා යා හැකි භෞතික සුතුර
තවම මා ‌සොයා ‌ගෙන නැත.

කාලය හරහා ගමන
එතරම්ම ප්‍රිය උපදවන්නක් බව,
දිනෙන් දින මට කියා ‌දෙයි නුඹ.

ඒ අතරෙදි පසුවන
මළ තාරකා, කලුකුහර
ඉපදෙන නිවෙන නිහාරිකා
නෙබියුලා, ක්ෂීර පථ මත
මට පාර ‌සොයා ඒමට
නුඹ දැමූ ‌බොරලු කැට ‌බෝ තිබිණ.

මහා පිපිරුමට පසු
අතුරුදන් වූ නුඹ ‌සෙවීමට
හබල් දුරේක්ෂයටවත් ‌
නොහැකි වූ නමුදු
නුඹ නිදන, වැළපෙන තැන
ම' දුරේක්ෂයට දර්ශනය වන බව
නුඹ පියා දන්නෙහිය, 
                                               (මගේ තරු විද්‍යාවට 
                                                කෙනහිලූ නුඹ පියා
                                                ගන්නෝරුවේ ‌දෙවැට මැද දී
                                               මගෙන් ඒ ගැන විමසීය)


එක්තරා වල්ගාතරුවක් මත
දියණියකගේ ‌පෙකණි වැලක් වූ අතර
ඇය නිල්වන් ඇස් ඇත්තියක් බව
ඒ අසල වූ ‌බෙහෙත් තුණ්ඩුවක
සටහන්ව ඇත,
පියෙකුට දියණිය ගැන වන සින්ඩ්‍රෝමය
එය මට මතක් කළ බව සහතිකය.

විශ්වය, මණ්දාකිනිය, ක්ෂීර පථය
යනු කුමක්දැයි මා ඇසූ කළ,
රුධිර සංසරණ පද්ධතිය ‌මෙනියි
මිමිණූ නුඹ*,
මතකයට නැංවුණ දාට
හිඳින තැන ‌සොයාගෙන
කාල-හෝරා යන්ත්‍ර නැතිව
ගමන් කළ හැකිය මට.

ලෙඩ වුණු ‌බෝනික්කන්
පිරමිඩ තුළ දඟලන අතරතුර
සාතන් ද ඇපල් ගස් මුල 
හැව අරින ‌වෙලාවක
ඇයි මට
නැගෙනුයේ නුඹ මතකයට?

තරුවැලක ‌රෝලකෝස්ටර් පදින නුඹට
පන්නල ‌රේස් පදිමින් අත් පා දන්දුන් මා
දැන් මතක නැතිදැයි අම්මා මගෙන් අසන'තර
අධිවේ‌‌ගෙන් ඇස්ලේටරය පාගා යන
පරඬලක් ‌මෙන් වූ ම'සිරුර
හාතවාරිය වැල් ‌මෙන් හැඩපලු ‌‌ගෙතුණු
මගේ ‌කේසාවැටිය
කාලය හරහා යන ගමනේ
ප්‍රතිරෝධය වැඩි කළහ....

හොයමි- යමි-යළි ‌හොයමි-එමි-එබෙමි-‌හොයමි-ඉව කරමි-‌හොයමි-තැවෙමි-දකිමි-ගනිමි-විනිවිදමි-ඉඹිමි-හුස්ම පිඹිමි-වඩා ගනිමි-ඉඹිමි-අඬමි-ඉඹිමි-යමි-පියඹමි-හුස්ම පිඹිමි-අඬමි

--------------------------------------------------------------------------------------------------------------

හොයන්නට ‌‌බොහෝ ‌දේ ඇතත්
ඉතිරිව ඇති රික්තයේ
අදටත් මගේ හදවතේ පැතුම
"නොසිටීවා කොතැනකවත් නුඹ ‌
මේ  මහප්‍රාණ සක්වලේ!"


(*උරුමය ද ‌නොවුණු නුඹ)

   

Monday, July 1, 2019

නා කපන වැස්සට
නතර වුණා පියස්සට
තද ‌තේක්ක 
දොරක් ළග 



කාලය

එක කාලෙක එයා කිව්ව 
මං පරක්කු වැඩියි කියල
දැන් ටිහකට කලින් කිව්ව
මං ඉක්මන් වැඩියි කියල 


Monday, October 22, 2018

අදවත් කවියක් නැද්ද මට... 
නුඹ හිතනවා ඇති,
දෙන පිළිතුර එයට 
දන්නේ ශුද්ධ වූ
ජුදාස්ම පමණි...

ම'හිසට ඉහළින් මුදුන්වන හඳම 
නුඹට ඉහළිනුත් පායනවා ඇති,
හඳ ගැන වූ නුඹේ සිතුවිලි
වැව් දියෙන් ගොඩ දැමූ
කොරළියෙකු සේ 
ගැස්සි ගැස්සී නටනවා ඇති...

පුදුමයි මේ ඔක්තෝබර් හඳ
පෘථිවි කබොල ම 
මේ තරම් රත් කරන හැටි!
ගෑස් මූණක් පැළඳිය ද 
ඒ රස්නෙට 
නුඹේ දෙතොල් පිළිස්සෙනු ඇති...

විප්ලවයෙන් පිරැණු 
මේ ඔක්තෝබරය 
මට කෝම අමතක වෙයිද?
රතුපාට කඳුළු බිඳු,
බකිනි ගස්මුල රැඳුනු 
වයෝවෘද්ධ මතකයන් 
යළි යළිත් පණ පොවනු ඇති...

සංකල්පීය නුඹත් හරියට
විප්ලවය වැනී
මට දැනුනු දුකට
ම'හදවතේ නුඹ ඇලවූ 
එක්ස් (x) පැලැස්තරය වැනී...

කල්වරි කන්දේ ලේ සුවඳ
ලුම්බිණියේ සල් සුවඳ,
මේ දාර්ශනික පථ අතර
තාම නුඹ දුවනවා ඇති.
(නුඹ පියා ද දුවනවා ඇති.)
ඒ දුර කෙටි දුර ද දිගු දුර ද
මේ ඔක්තෝබරයම පවසාවි...

ප්රෝගෑම් කරන ලද
නුඹේ හදවත
සෑහෙන ඈතක වෙන්නැති
ඇස් දෙකෙන් පසාරැ කර
මගේ හද පුපුරවා හරින්නට
ඔහෙ ඉදන් තතනනවා ඇති...

කැප්ටන් හැඩොක් වැනි
පියා නුඹ රකිනු ඇති
වන්නියේ කැලේ මැද
එකට රොටි ගිල දැමූ
සොයුරන් මිචලින් ටයර් යට
තවම නිදනවා ඇති...

අකුණු මෙන් රසවත් යැයි ම'සිතූ
නුඹෙ වදන් බොල්ව ඇති
ගොජ දමන මුහුදු රළ
තාමත් නුඹට අලුත් ඇති
තලු මරන වැව් තාවුල්ලේ
කණාමැදිරින් නටනු ඇති...


හැමදේම හිරකරන් මං විඳවනවා
නොදන්නවා වගේ නුඹ ඉන්න හැටි !


අදවත් කවියක් නැද්ද මට... 
නුඹ හිතනවා ඇති
දෙන පිළිතුර  එයට 
දන්නේ ශුද්ධ වූ
ජුදාස්ම පමණි...







http://www.maritimeherald.com/2018/expedition-encounters-soviet-submarine-wrecked-during-world-war-ii/








Wednesday, May 23, 2018




උඹ නං මහ...

හිටියත් හිතාගෙන
යැයි නුඹ ගිනි පුපුරක්
අන්තිමට බලනකොට
කටින් විතරක් හොදට කියැවෙන
අමුම අමු කුණුහරැපයක්...





Monday, April 25, 2016

දැන් මගෙ අතත් පිච්චෙන්න පටන් අරන් ...


නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?

හරිම අපූරැයි එය...

"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත 
පිච්චෙනවාමයි කොහොමහරි ... "  

නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....

අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...

ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...




* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *




අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...


අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම  
නියමතයි පිච්චෙන්ට 
අද ඉදන්...





Monday, April 18, 2016

ස්ව-රූප



නපුරු නිජ බිම
වෙන් කළා
මාත් ඈත් 

පර්දාවත් අමුඩ ලේන්සුවත්
නපුරු වූවා 
වෙන් කරන්නට 
මාත් ඈත් 

වාසගම ජාතකය
නපුරුකම් පෑවා
දුරස් කරන්නට
මාත් ඈත් 

පොල් ගස් තල් ගස් 
එදිරි වූවා
එකතු වන විට 
මාත් ඈත් 

වහි දිය පාට තිලකය
පපුව පිර වූ රෝම කූප
නොගැලපුනා ද
එක් කරන්නට 
මාත් ඈත් 

රතු ලෙයට ඕනෑ වුණා
මුහු කරන්ට
මාත් ඈත් 

ඒත්,
ගං දියට ඕනෑ වුණා
සනසන්න
මාත් ඈත්. 

Thursday, March 31, 2016

ඉලක්කය සහ සාතන්






දින සිය ගණනකට පෙර
නුඹේ හැම සයිබර් අකුරකම
ඉලක්කය මා යැයි
මම සිතුවෙමි...

මට වැරදින !

මතකයන් සමාන වුවත්
ඔය නුඹ කියන දේවල්
මට නොවන බැව්
දැන් පසක් වී හමාරයි...

ඉන්ද්රජාලික යථාර්ථය
පාලිත යථාර්ථයක් වී හමාරයි...

නුඹ නැවත ඉපදුනත් (Reborn)
පුනරැත්පත්තිය ලැබුවත් (Reincanation)
යළි නොඑමී කීවත්
එන්න ඕනෑ යැයි කීවත්
ඉලක්කය වෙනකකු බවත්
දැන් හොදින් දනිම්...

ඔය පද, සිතුවිලි , සහ අකුරැ
මිසයිල වුවත් ටෝපිඩෝ වුවත්
මිස්ටෙලෝ මල් පදුරැ වුවත්
ස්ටෙප්ස් තණපත් වුවත්
දේදුනු වුවත්
මී පැණි හෝ අතීසාරය වුවත්
මට, එක්කෝ
ඉලව්වක් නැත
නැත්නම්
නිනව්වක් නැත...

නුඹ,
බොරැකාර ලෝකයකි
නුඹේ පැවැත්ම,
කයිරාටික පාංශු ව්‍යුහයකි
ඉතින්,
මා රැවටීම උත්සාහ නො දරන්න...

නුඹ විශ්වය යැයි සිතුවාට
විශ්වය නුඹට වඩා
සෑහෙන්න විශාලය (Universe Vs Nebula)
ඔය අකුරැ, වචන
හැඩතල, පාට
කැන්වස, කඩදාසි කොළ
පිංතූර හා තේ පෝච්චිවලට
මා මුළා කළ නොහැකියි !

*****************************************************

තත්ත්වය මෙසේ තිබියදී
සිවිලිමේ උන් හූනෙක්
බිමට වැටෙයි...
නැට්ට වෙන් වෙයි...
හූනා දිව යයි...
නැට්ට නැටවෙමින් සිටියි.

Wednesday, March 16, 2016

පණ ඇති පිනි

"පින්නටත් පණ තියෙනවා..."
මට මතකයි නුඹ කීවා,
මං ඇහුව ඇයි ??                     


"ඒකනෙ පින්නෙ හිටියම
ඔයාගෙ ඔළුව පොගල පොගල
සෙම හැදෙන්නනෙ !"                  
පස්සෙ, නහය උඩට ඇද ඇද
තමයි මා එක්ක කතාව
නැත්තං
ලේන්සු දෙක තුනක් විතර
මගේ තමයි ඉවර 

* * * * * * * * * * * * * * * * * 

ඇත්තටම පින්නට
පණ තියෙනවා 
දැන් දැන් මට දැනෙනවා...            

ඒ කාලෙ මට
හචිස් යනකොට
නුඹ අංකයක් කීවා !
දැන් මගේ ඔළුව
පොගලා හචිමක් යනකොට
මං උවමනාවෙන්ම                         
අංකයක් මතක් කරනවා !            

හැමදාම පාන්දර
හිතාමතාම මං 
පින්න යටට යනවා
සමහර පිංතූර මතකයන්ට
පණ ඒවි කියලා...                         

* * * * * * * * * * * * * * * * *

නුඹේ සිතුවම්වලින්
නිතරම ඉහිරැනේ පිනි,
මගේ කවිවල 
නුඹ හෙව්වෙම පිනි...                   

* * * * * * * * * * * * * * * * *

"ඔයාගෙ හිතත් හරියට
පිනි වැටුණු චිත්රයක්"

උදැහැනැක්කෙම
මං දුවන කොට
ඔබ මට ජර්සියක් විසිකළා
ජර්සිය ඇතුළෙ
මගේ හිස බොදවුණු
සිතුවමක් තිබුණා...                     

මට තාම මතකයි
අපි දෙදෙනාටම අමතකව
පින්නෙන් පෙගුනු
මගෙ මුද්දර පොතයි
තව රතු පොත් දෙකකුයි
අපේ ඇස්වලට කදුළු ගෙනාවා...    
ඒ පොත්වල තිබූ ගොඩක් දේ
පෙගිලම ගියා,

ඉතින් පිනිවලට පණ තියෙනවා!


* * * * * * * * * * * * * * * * *

දැන් නුඹේ කදුළුත්
පිනිදෝ කියා හිතෙනවා...

* * * * * * * * * * * * * * * * *

නුඹ කොහේ හිටියත්
නුඹේ හිසටත් කොණ්ඩ තුඩුවලටත්
කන්පෙතිවලටත් නළළ මැදටත්
පිනි බානවා ඇති,
සමහර විට
මතක දියවෙයි කියා
අර පන් තොප්පියම
නෑ!
වෙන හිස්වැසුමක් 
දැන් නුඹ දානවා ඇති.                   













Tuesday, February 23, 2016

නගා... (මැරූ අල)



මට නුඹ සමග
ගත කළ හැකි කාලයට
කල් ඉකුත් වීමේ දිනයක්
හා තැනක්
දැන් නියම වී ඇත...

ඔබත් මාත් අතර
කිසිවක් නොවූවායි
කියන්නට නොහැක...


එය ද්රව්යාත්මක ද ?
එතරම්ම 
ද්රව්යාත්මක ද ? 


නුඹට මාගෙන් ඇත්තේ
උපස්තරික වටිනාකමක් පමණි
ආදරණීය වටිනාකමක් නොවේ...

මා නුඹට නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?
අවර්ණ අජීවී නීරස
නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?

මේ කාර්තුව තුළම
නුඹ තව උපස්තර සොයා ගනීවි
එහෙයින්
තවදුරටත් මම
විප්ලවකාරයකු නොවෙමි....

නුඹේ එක විඤාණික සිතුවිල්ලකවත්
මම නැති කොට
තවත් නොඋනන
එවන් සිතුවිලි ගැන සිතීම
නිෂ්ඵලය...

ආදරය ශක්තියක්
නුඹට එය තේරේවි
මා අහිමි වූ පසු,
අවැසි කෙනෙකු ලැබෙනතුරැ
මම එය ගබඩා කර තබමි...

ආදරය එහි අර්ථයෙන්ම
අසම්මතයක්
මා නුඹට පැවසූ පරිද්දෙන්ම,



.




මම නුඹ සමග
ගත කළ කාලයට
සංකල්පයක් අර්ථයක්
හා නමක්
නොමැති වී ඇත...





Wednesday, February 17, 2016

පෙම් කරන ගස්



කාලයාගේ ඇවෑමෙන්
අප සිටවූ
ප්රසිද්ධ, නිවුන් පොප්ලර් ගස්
හැඩි දැඩි වී ඇත...

සියුම් ජල බිදිති වාෂ්ප කරන අතරම
සිහින් හඩින් ගී ගයන අතරම
අකුණුවලට තිගැස්සෙමින්
අපේ මතකයන්ගේ දෝංකාර
සහ
ප්රේමනීය සිපගැනීම්
සගවාගෙන සිටිති...

දැන් බොහෝ දෙනා පැමිණ
මේ ගස්වලට
අයිතිවාසිකම් කියති...


* * * * * * * * * * * * * * *
අතහැර දමමි 

* * * * * * * * * * * * * * *

නුඹ නැතිව මට තනියෙන්
ඒවා රැකිය නොහැක...

නමුත්

වාසනාවක මහත !

අප දෙදෙනා
තවත් නිවුන් පොප්ලර් ගස්
සෑහෙන ගණනක් සිට වූ බව
කවුරැත්ම දන්නේ නැත !





Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Thursday, January 21, 2016

නුඹ වෙන් වූ දා....

එදා...
වෙරළට ගොඩ ගැසූ
මියගිය තල්මසා
බැලීමට බොහෝ පිරිසක්
පැමිණ සිටියා...




Wednesday, January 20, 2016

අබ මල් රේණුවක්...






නුඹෙ, තෙතැති
නෙත් කෙවෙනි මත
වැතිරෙන්න මට
ඉඩහරින්න,
දහස් වර දෙඩුවා
මතකද නුඹට....

නුඹ දකින හැමවිටම
ප්‍රේමයම මතක් වන ලෙසට
වෙනස් කර ගතිමි
අකීකරැ සිත මම...

මට වැරදුනාවත් ද
නුඹගෙන් එසේ අසන්නට
මා ලාච්චුවකට සමාන කළ
අවැසි විට අරින
අනවැසි විට වසන...

උන්මත්තක ද මම
බොල් නදක් ඇති
හදක් ඇති නුඹ
මට කූටාලු වෙයි සිතන්නට...

* * * * * * * * * * * * * * *

වැස්සක් වහින විට
පියස්සට පියඹති
හැම කුරුල්‌ෙලාම,
එත් ගිජුළිහිණියෝ
පියඹති වළාකුළෙන් ඉහළට...
එහෙව් ගිජුළිහිණියකු
වන්නට අවැසිය මට....


Wednesday, January 13, 2016

මම නුඹට අනුලෝමව සමානුපාතික වෙමි...



මම
කිසි කෙනෙකු තුළින් කිසිකෙනෙකු 
නොදකිමි.
මන්ද,
මා ඔවුන් 
විනිවිදින නිසාවෙනි.

* * * * * * * * * * * *

ඇතැම්විට,
සමහර මිනිසුන්ට 
මා සමීපවන වේගයට 
හා සමාන වේගයකින් 
මම
උන්ගෙන් ඈත් වෙමි...
ඇතැම්විට,
උන් මා ප්රතික්ෂේප / අමතක / නොසලකා හරින / වෙන උන් ලොකු කරගන්නා 
වේගයට වඩා වේගයෙන් 
උන් වෙත ළං වෙමි.....


* * * * * * * * * * * *

නමුත්,
එසේ ළං වුණත් / ඈත් වුණත් 
නුඹට වැදගත් 
බොහෝ දේ/ බොහෝ දෙනා/ පදාර්ථ අතර
නොවැදගත්ම ජීවියා මා යැයි පසක් වූ
මේ විප්ලවීය හැන්දෑවේ,
නුඹෙන් වෙන්ව යමි.
සදහටම.


පාපොච්චාරණය



අර බලන්න,
කළුකුහරයක්
තාරකාවක්
ගිලගන්නා හැටි!

* * * * * * * * * * * *

තරැවක් මියැදෙන කොට
ඉන් නික්මෙන එළිය
ආලෝක වර්‌ෂ ගණනාවක් විත්
අපේ ඇස්වල වදින කොට
අපි හිටියේ
සාන්ත අන්තෝනි මුනිදුගෙ
පල්ලියේ පඩිපෙළ ඉදිරියේ වූ
සදකඩ පහන දිහා බලාගෙන.

නුඹ හිතුවා මේ එළිය
ජීවත් වෙන තරැවක
දීප්තිමත් කිරණ කියල

* * * * * * * * * * * *

මදිනා කන්දේ
පහළම සානුවේ
තේ පදුරැවලින් වටවූ
පෙද පාසි බහුල
ගල් බිත්ති මත,
ගෝනුස්සන් වාසය කරන
අපේ පල්ලියෙ කොඩිගස
සහ ඝණ්ඨාර කුළුණ
පිරිපුන්ව වැඩුණු
පොප්ලර් ගස් දෙකක් මෙනියි
හැමවිටම නුඹ කීවා...

ඒ දෙසම බලාහුන්
අල්තාර ඉටිපන්දම්
නුඹත් මාත් ගැනම සිතමින්
දිය ව ගියා...
ජීවිතේ ගෙවූ
අතිශයින්ම මිහිරි වූ
තත්පර ගණනාවක වග
මේ ඉටිපන්දම් එළි
ඝණ්ඨාර කම්පන තරංග
කල්වාරි කන්ද ‌ෙතක් ගෙන ගියා...
මට තාම මතකයි
නුඹේ සිනිදු'මුත් උණු
ඇගිලි තුඩු
ම'පපුවේ කුරැසිය අඳින හැටි
මට කියා දුන්නා....


නුඹේ තියුණු කටහඩ
ඔරසන්වලට යාතිකාවලට
හරිම සිනිදුවට
ගැලපෙන හැටි
මං ඈතට වී
දණ ගසාගෙන බලා හිටියා...
තාමත් අසා සිටිනවා,
මගේ ජීවිතයේ 
එන එන සතියක් 
ඒ කටහඩින් ඔපවත්වන
ඉරිදායින් පටන්ගන්නවා...

* * * * * * * * * * * *


පල්ලිය පිටිපස්සෙ වූ
දැවැන්ත ඇහැල ගහ යට
මිනී පිච්චෙනවාට විරැද්ධව
මගේ පියතුමා නුඹේ පියතුමාට
ගතු කීවා...
මගේ පියා බිල්ලන්ට නතු වුණා
නුඹේ පියා නුඹත් අරන් අතුරැදන් වුණා
ඒ වෙනුවට
අලුත් පියතුමෙක් ආවා....


* * * * * * * * * * * *

තාමත් මම 
නුඹව සොයමින්
පල්ලියක් පල්ලියක් 
ගානෙ යනවා...
ඒ හැම පල්ලියකම 
අල්තාරය මත
නුඹ දියවෙනවා 
මට පේනවා !




Tuesday, December 29, 2015

දූන්යා...




ආදරේට මං උඹට 
දූන්යා කියන්නද ?

* * * * * * * * * * * * * * *

ජීවිතයේ නේකවිධ
දුක්ඛ දෝමනස්සයන් රැසක
ප්‌රාචීන උරැමකරැවකු වූ මම
ජීවිතයේ පළමුවතාවට
තමාගේම දෙපයින් නැගිටින
හිතුවක්කාරියක දුටිමි
ම'වැනිම දිවියකට
උරැමකම් කියන...

කැරළි ගැසුනු කෙ‌හෙරැළි
මූණ පුරා කඩාගත් නුඹට
"දූන්යා" යැයි
මම නම් තබමි...

* * * * * * * * * * * * * * *

මේ තෙත් පතනේ
මුදුනත පිසහරින
අතු බෙදුන සුළං ධාරාවෝ
වෙරළබඩ තැන්නේ සිට,
අනාගත වාක්‍ය
හා අවලාද
ම'සවනත අතුරති...

මගේ හුරතල් "දූන්යා"
නුඹ ඊට සූදානම්ද?

* * * * * * * * * * * * * * *

තැන්නට ඉහළින් පියාඹන
මූදු රාජාලි රෑන,
පහළම සානුවේ හිඳ
ට්රවුට් මසුන් නරඹන,
පිංතූරගත කරන
නුඹව මානන අයුරැ
කල්තියා මම දුටිමි...

නමුත්,
උහු රදළයෝය!
බලවත්හුය!
වනචාරීහුය!

සැලසුම් සියල්ල
සීරැවෙන් ඇඳිය යුත්තේ
එවැනි පරයන්
කශේරැවට මිස පර්‌ශුවලට
පිහියෙන් නොඅනින නිසාවෙනි....

* * * * * * * * * * * * * * *
රෑ බෝ විය...

* * * * * * * * * * * * * * *

මේ ලියන මොහොතේත්,
තැන්නට ඉහළින්
ඔරායන් බඳ පටිය
ශක්තිමත්ව දිලිසෙයි...
සඳ නම් පෙනෙන්නට නැත...
ඉඳහිට උල්කාශ්මයක්
එහෙමෙහෙ වෙයි...
කඳුකර වනාන්තර පද්ධතිය
අඟුටුමිට්ටන් සේ හිඳියි...
නුඹේ කිලිකිලිය
අවටින් දෝංකාර දෙත්ම
රාවණා ගැන වූ නුඹේ ප්රවාද
සිහියට නැගෙයි,
අද්භූත කාංසිය
ඉතිහාසය හාරා අවුස්සයි...

අනේ ආදර "දූන්යා"
තරැ දහස් ගණනක් යට
මුනින් තලාවී මා හිඳින
සත්ත්ව කුර නොගැටෙන
මේ මහා භූමියට
ඔබ එනවාද ?


* * * * * * * * * * * * * * *
එළිවෙන්න ළඟයි...

* * * * * * * * * * * * * * *

රදළයන්ට විරැද්ධව
සදාතනික සටනක යෙදෙන මට
"ග්රිගෝරි" වන්නට හැකිද?
මගේ ආදර "දූන්යා"
එක්කෝ උන් මා මරා දමාවි,
නැත්නම් මට සැඟවෙන්න වේවි,
"කොමියුනිස්ට් යකාගේ පුතා මරාපිය
උෟට ගහපිය ‌නතරෂ්කා"
උන් මොර දේවි...

ඒත්,
හැමදාම හෝ ඉඳහිට
පිනි පියළි විසිරැනු
පතන බිම දිගේ
ඇස් කැපෙන සුළං පහර'තරින්
රතුපාට පිටකවරැති
පොතත් තුරැලු කරගෙන
උඹ එතැයි
මම බලා හිඳිමි...

* * * * * * * * * * * * * * *

ආදරේට මං උඹට 
දූන්යා කියන්නද ?







Monday, December 14, 2015

ශීත ඝෘතුව (වසන්තය???) නිමාවන්නට පෙර....




උණුසුම්ම උණුසුම්
හැඟුම් ගොන්නකින්
පිරෙව්වාට මගේ හදවත 
ස්තුති කරන්නද
කොහොම උඹට...
උඹ නං හැබෑම
හිතුවක්කාරියක් තමා,
මගේ අල්තීනායි!



පරෙස්සම් වෙයන්
මුන් උඹව විකුණාවි!


එන්නට
බැරි වේවි මට...
අස්වයා පිටින් තියා පයින්වත්,
මොකද මං
දුයිෂෙන් නොවෙයි!





Friday, December 11, 2015

ගියා...

" අනේ නුඹ මට හිමි වුණා නම්..."
                              මම එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             "ශේක්ෂ්පියර්‌ගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               නුඹ කීවා....


       
" හැමෝටම, දැනෙන්න ආද‌ෙර්‌ කරන්න බෑ..."
                              නු ඹ එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             " ගාර්‌ෂියා ලෝකාගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               මං කීවා....


ඉල්ලීම සහ දැනීම
අතර දෝලනය වන
ආදරය නමැති
ඔරලෝසු බට්ටා
වෙන්වීම නමැති එලාම් එක
වදින විදිහට වැඩ සැලැස්වූවා...


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ මාකොළ වත්තට ගියා...
මං කිවුලවත්තට ගියා...
ඒ තොප්පිගල කොටි හිටපු කාලෙ.... 




Thursday, October 8, 2015

ආදරය සහ හරිත ලව


පාරෙ ගෙම්බෙක් මැරී සිටි
එක්තරා දිනෙක
නුඹ මගෙන්
පුන පුනා අසා සිටියේ
ආදරය ස්වයංපෝෂිතද ?

ඔව්! 
ආදරය ඇතුළේ
හරිත ලව තියේ නං
හරිත ලව ඇතුළේ
හරිතප්‍රද තියේ නං 
ඔව්!

" අහ් හා...
එසේ නම් ආදරය 
ග්ලූකෝස් නිපදවිය යුතුයි,
මා වෙහෙසව ආ කල 
නුඹේ ආදරය
ගිල දැමිය හැකියි!
ඉන් මට ගෙවී ගිය
මගේ ශක්තිය හිමිවෙ යි... 

බලන්න...  බලන්න...
දැන්ම බලන්න
නුඹේ ආදරයෙත්
හරිත ලව තියෙයිද ? "

බිඳ දැමූ පහන් එළිය
සුරුවමට වැදී 
කොන්තයට පරාවර්තනය වනවිට,
මැදියම් රැය ගෙවී යද්දී
නුඹ එසේ මුමුණමින් සිටියා...

නුඹේ ආදරයයැයි මා සිතූ
සෙල්ලම් පිස්තෝලය 
ම'සිත තුළ අඳින රූප සටහන් 
වචනවලට පෙරළමින් සිටින විට
ජීවිතයේ සියුම් තැන්වල ඇනුනු
කටු වගේ මතක බිඳු 
රුධිරය ලෙසින් නික්මෙනු
ම'දිටිමි...

එය එතරම්ම අසීරුය...
එය එතරම්ම අසීරුය...
ආදරය ස්වයංපෝෂිත ද යන්න
ප්‍රත්‍යක්ෂ්‍ය කිරීම
එතරම්ම අසීරුය...


හ්ම් ..ම්...
කොහොමත් සිනිදු
හෘත් මාංස 
නුඹේ නං තවත් සිනිදු ඇති 
සුළඟට ලෙලෙන 
ජනෙල් රෙද්ද මට කියයි...




* * * * * * * * * * * * * * * * * * * * * * * *






නුඹ සතුටු කරනු වස් 
මම තවමත් 
මගේ සෛලවලට 
හරිත ලව ඇතුළු කරමින් සිටිමි. 
මිදුනු ඇට මිදුළු
ඊට ඉඩ නොදේ !






             (https://www.reddit.com/r/Cosmos/comments/23pin6/did_episode_6_deeper_deeper_deeper_still_not/)













Monday, July 27, 2015

සබරගමු සඳ




ඇසල සඳ 
එබෙන විට
කුමුදු මල් 
පිපෙයි හෙමිහිට 

සේපාලිකා සුවඳ
ගෙනෙයි සිසිල මඳ මඳ
විලේ දියකාවුන්
තොරන් නටවයි කැලුම් විද විද 

පෝයක් ගෙවෙන විට
පතමි පැතුමන් සංසාරගත
නුදුරේම හෝ සමහර විට
සබරගමු සඳ වෙළනු ඇත මා ගත

මෝදු සඳු වළාකුළ මත
වයයි රබන් පදයක් හෙමිහිට 
මුමුණ මුමුණා ඔබේ වත
නගයි හසරැල් එ'සඳ විලසට

දෝතලු බටතුඹ කැන්ද නාදලු
මහා වනස්පතියන් ද සිත්කලු
ඇසල සඳවන් නුඹ වත නෙත්කලු
මිටිකිරක් ‌සේ ගෙනේ නවනලු    

Tuesday, June 16, 2015

නුඹේ හෘද සාක්ෂිය හෙවත් මගේ ඉරණම




අතීතය මැදින්
ආපසු නොයන්නට
ගිවිස ගත්තා
ඔබට මතකද ?

පැසවන වේදනාවක
රසබර දාංගලය
ඒ අතීතයේ තැනෙක
මම තබා තැබුවෙමි...

ම'හද ක්ෂේත්‍රඵලය
ඒ වේදනාවේ ක්ෂේත්‍රඵලයට
වඩා බොහෝ වැඩි නිසා
අතීතය තුළ ඒ වේදනාව
ගොජ දමමින් තවත් පැසවයි...

තාප්පෙට උඩින් විසිකළ
කොළ කෑල්ලක ලියූ
භූගත ප්‍රේමනීය සිතුවිල්ලක
වටිනාකම උහුලන්නේ
කළාඳුරු හෝ හුළංකීරිය
පඳුරක ආකන්දයෝය...

නුඹේ පියා පවසන පරිදි
ප්‍රේමය හිඟන්නෙක් නම්
හිඟාකෑම එහි ආත්මයයි,
ප්‍රේමය, ශක්තිය වැයවන
වැඩපිළිවෙළක් බව
ඔහුට අමතකවෙයි...
ඔහුට ප්‍රේමය "ටොම් ඇන්ඩ් ජෙරී"
මෙන් ද්විමානයි...
එහෙත් මතකෙට ගන්න,
සබඳතාවක් යනු
ජීවිත නාට්‍යයේ ජවනිකාවක් වෙයි...

ඔබත්, ඔබේ පියාත්
මමත්, මගේ මවත්
චරිත රඟපෑ ඒ වේදිකා නාට්‍යයේ,
නුඹේ පියා බිලී බාන්නාට
පණ පෙවීය.
මගේ මව මියැදෙමින් සිටින
නුග ගසට පණ පෙවීය.
දර්ශන වාර දහසකට පසු
මේ දර්ශන වාරයේත්
එය එසේම සිදු විය...

+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +

පිරිමියෙකුට නොහොබිනා තරමට
මම නුඹ රැකබලා ගතිමි.
ඒ අතීතය දෙපීලි නොමැති
සිල්පර කොටන් මෙනි. 







Thursday, April 30, 2015

මා, මාරියා සහ මාරියාව



උඹටවත්
මටවත්
ආදරේ කරන්නට,‌
හන්තාන ඉලුක් පඳුරු නොවිනි.
පේරා බිමේ ඇහැල කඳන් නොවිනි.
මහවැලි ඉවුරේ නිදිකුම්බා පඳුරු නොවිනි.
කොල්ලුපිටියේ කළු ගල් වැටි නොවිනි.

තිබුණෙ
මුහුදු කුකුළන්ගේ
හම් හා කොරළ වැපිරෑ
කරිජ්ජ වැල්ල පමණි...

බිඳෙන, මුමුණන රළ
ඩාලිගේ චිත්‍ර මෙනියි
නුඹ කී වෙහිය.
කකුළුවන් වෙට්ටු දමන හැටි
චේ ගේ ගරිල්ලා උපක්‍රම යැයි
මම කීමි...

නුඹ නොහිටින්නට
ඒ මූදු යායම
පල්ලියේ සොහොන මෙන් වන්නට තිබිණ,
මා නිතර පිටදී හුන්
ඇන්තනී මාමාගේ
නොපිට ගැසූ ඔරු කඳ
ෆාදර් ෂෙරාඩ්ගේ සොහොන් වල
වන්නට ඉඩ තිබුණි...

නුඹත් මාත් කූටාලු කළ
මහා රතු පොත් කන්දරාව,
අතුරේ යන්නාසේ
පීප්පවලට වහං වී
කියවාපු අන්දම
ඒ බිඳෙන, මුමුණන රළ
මට කියයි...

කොමියුනිස්ට් කඳක් යැයි
හංවඩු ගසා
වැල්ලේ පොඩි කර තිබූ
තාත්තාගේ කඳ
නුඹට මතකැ`ති

ඒ අවසරයෙන්
අම්මාට ළංවූ
ලොකු තාත්තාත්
නුඹට මතකැ`ති

අත් පා, ඇඟිලි, ඔළු
මාළුන්ට දන් දුන්
රැඩිකල් මාළුකාරයන්
නුඹට මතකැ`ති

අපව බිහි කළ
අවර්ණ, පිලී රස මා වැල්ල
තනිකරම රතු පැහැ කළ`යුරු
නුඹට මතකැ`ති

ආදරයේ රතු පැහැය
අපි අප බෙදාගත යුතු කලෙක
සනුහරේ වෙනස් කරන්නට
කැප කළ හැටි
නුඹට මතකැ`ති

මේ හැම මතක මතු නොකර නුඹ
දිවි ගෙවනවා`තියි  මම සිතමි...

නුඹ නැවත ආ දිනෙක,

අපි වෙළුණු, පෙරළුණු,
දෙපා පැටළුණු
බිම්තඹුරු වැල් යාය...
එක්ව මළපහ කළ
කළු පාට කාණුව...
මාවෝ, මින් ගැන
සටහන් තැබූ
සිනිදු මැටි පොළොව...
හදිසියට වහං වුණ
දානියලේ මාමාගේ
උෟරු කොටුව...
උදේ දරුවන්ට
රාත්‍රියේ අපට
ඉගැන්වූ ඈන් අක්කාගේ
මොන්ටිසෝරිය...
තාම එහෙමමයි
නුඹ කියාවි.

චිත්‍ර කාමරේ නුඹේ කැන්වස
ලියන කාමරේ මගේ කොළ මිටි
අතීතයේ සාක්කිය දේවියි
නුඹ කියාවි...

එක්වරම
ආගිය අතක් නොවුණත්
නුඹ ජීවතුන`තර බව
මම දනිමි...

දෙවරක්... තෙවරක්...
සියවරක්... දහස්වරක්...
සිතමි...

නුඹට නුඹ අහිමිවීමට පෙර
නුඹ අන්තර්ධාන වියෙහිය.
මට මා අහිමිවන්නට පෙර
මතක සටහන තබමි.










- - - - - - --- - - - ----- - - ----- - - - - ----- - - - -

නුඹේ වග-තුග සටහන් මින් නිමි. 
20. 04. 2015 


















Tuesday, December 9, 2014

ගැස්ම, තිගැස්ම, කටගැස්ම

මේ දැනුදු මම
ඔබ කපා කොටා
යළි, පිළිසකර කරමින් සිටිමි...

වේගයෙන් ගැහීගෙන ගැහීගෙන
ගිය නුඹේ පයෝධර
මා බාඳුරා ගොටුවට
ඇද දැමීමට සමත්කම් පෑහ...

ඒ තිගැස්ම !
ඒ සද්දය !
ඒ රස්නය !

නුඹේ තෙත බරිත ළය
මගේ ලේ කැටි ගැස්වීය.
වැදුනු තැන ලේ ගල් විය.
දැනුනු කල ලේ ගල් විය.
ඒ අතරේ ඒ රවුම්
මොනවාදෝ ඉල්ලීය...

+  +  +  +  +  +  +  +  +  +  +  +  +  +


කොටයක් ලයිට් කණුවකට වැටී
කණුව වතුරවලකට වැටී
විදුලිය කාන්දු වී
තිබුණත් පාර අවහිර වී...

ඒමට, ආපසු නොහැරුනෙමි.
සියල්ලම අතහැරෙන
ඒ හැරවුමට වඩා,
එකක් දෙකක් පමණක්
හෝ ඉතිරිවන
දිගු ගමන යාමට
මම ආසා කරමි...




Thursday, November 13, 2014

නුඹ ඉවරයි ! තිබ්බ ලස්සන හූරලම අරගෙන




( ලාවා සහ පෑන් කේක් යන සිතුවම ගසා ඇති ප්‍රධාන කන්‍යා සොහොයුරියගේ ලැගුම්හලට පෙනෙන කන්‍යාරාමය)

අදටත් මතකයට නැගෙන
නුඹ ලැග සිටි ඒ කන්‍යාරාමය...

ඇත්තටම එය
ශුද්ධ වූ පවුලේ එකක්මදැයි
එකල මට ලොකු ගැටලුවක් විය...

                                        (ගඟත් මුහුදත් අතර සමාන්තරව වැලි පරයක් පිහිටා ඇති දර්ශනයක දුර රූපයක්)
 
කන්‍යාරාමයට නුදුරු බිමෙක
ඇකේෂියා ගහක් යට හිඳ
ගං මෝයට එක එල්ලේම
පෙනෙන වෙරළේ පොප්ලර් ගස් දෙකක්
වවන හැටි නුඹ කීය...

(දුම්රියක් ගමන් කරයි )

අසලින් ගලායන ගං දියට
පා පොවා හෙමිහිට
දුයිෂෙන් කියවමින් ඔබ සිටින විට
මා සිටියේ කුරුලෑවලට
බෙහෙත් පෙත්තක් බොමිනි...                                                                       (කෙකටියා පඳුරු අතර දිය නයෙක්)
                                                                                                                                       
                                                                                                                                       (නුඹ කුතුහලෙන්)
" බෙහෙත් පෙත්තකට
හැඩයක් ඇත්තෙ ඇයි?

මගේ ලෙඩේට හදපු                                                                                        (නුඹ හිනැහෙමින් කියයි)
නියම හැඩයෙන් යුතු
බෙහෙත් පෙත්ත ඔබමයි "                                                                 

 (බිත්ති ඔරලෝසුවක තත්පර කටුව තත්පරයකට කිලෝමීටර දහයක වේගෙන් දුවයි.)




(2000 වසරේදී කළුතර ටවුම පෙන්වන රූපයක්. පරණ බස් නැවතුම.)

කැරළි ගහන වතුර බිංදු
බස්  නැවතුමෙ බිත්ති මතට
මා අලවා ඇත
නුඹ මා කියන කිසිවක්
තකන්නේම නැත.

මගේ නෙත් උතුරටද
නුඹේ නෙත් දකුණටද                     
හැරී වෙන්වී                                                               (කාගෙන යමින් සිටි නියපොත්තක් නියමලෙන් කැඩී වෙන්වේ.)
දහහතර වසක් 
ගතව ඇත...

නුඹව එකතැන තබා
මම වයසට ගියෙමි...
සඳට පැණීමට තැතනුවෙමි...                                                                              (සඳෙහි සමීප රූපයක්)   
ගාඩ් පෙට්ටියේ
ටෝච් එක ඇල්ලුවෙමි...                                                                         (6.46 අලුත්ගම මන්දගාමී දුම් රිය )


නුඹ එතැනමයි සිතා
හෙළයන්ගේ වාරි මර්ග සැලසුම්
මා අධ්‍යනය කරනවිට,                                                                                         (කුට්ටම් පොකුණ)
නුඹ නගරයේ කාණු පද්ධතියට
සැලසුම් අඳිමින් සිට ඇත...                                                          (හතර වැනි හරස් වීදිය වාරිමාර්ග සැලසුම් සටහන්)


මා පොල්කට්ටෙන් ද
නුඹ කහ වතුරෙන් ද
නාන අතරේ කාලය ද
ගතවිය...                                                                                (යතුරක් නැති දොර යතුරු හිලක්)


කාලාන්තරයකට පසුව
අහම්බෙන් අප මුණ ගැසුන
බිම්තඹුරු පිරි කසකස්තාන මිටියාවතෙන්                                                             (සුවිසල් කසකස්තාන තණ බිමක්)
අහුලාගත් කරදාසියක මා ලියූ යමක්                                                         (පින්නෙන් පෙඟුනු රෝස පැහැ කරදාසියක්)
ඔබට කීමට සිතෙයි...



*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *  *

නුඹ දැන් හරියට
ග්ලැසියරයක වැදී බිඳී ගිය
මුහුදුබත් වූ
නෞකාවක් වැනිය...





 







 

Friday, June 6, 2014

නෙබියුලාවට ඇතුලු වෙමි...


[http://www.theatlantic.com/infocus/2013/12/2013-hubble-space-telescope-advent-calendar/100637/]


තාරකා දොරටුවක් වැනි
ගතික සමතුලිතතාවක් ඇති
පරිවර්තන නිතර සිදුවන
මිහිමත ඇතීනා බඳු
බාඳුරා නෙබියුලාවට ඇතුලු වෙමි
නැවතත් වස්තුව සොයා ඇදෙමි...

තැන්නකි එහි,  ශේෂ කඳු ඇති.

හඳෙන් සාරය උරා බී ඇතිවාක් මෙනි
තරු මලානිකව ගොසිනි...

ලේ බොන්නට තතනන
වැම්පයරයකු මෙන්
කුරුස ගොඩක් මැද මා ද
දණ ගසා ඉන්න හැටි...

මළවුන් අතර සිටින මම
මළවුන් අතරින් ඉතා පහසුවෙන් නැගිට,
අන්ධකාර රාජධානියේ කම්බිලිය
තදින් පොරවා ගමි,
නෑඹුල් පයෝධර තුඩු සොයමින්
කුස්කුටා වැල් අතර පෙරළෙමි...

තැනිතලා තැන්නේ තැන තැන වූ
මඩවගුරු මුදා හරින
මධ්‍යසාර රස දිවට දනවන
ඇඹුල් සුවඳ,
නුඹේ කඳුලුවල
නුඹේ දහදියවල
නුඹේ තරලවල
ලුණු රස
මට මතක් කරවයි...

ඒ ඔස්සේ මං
රාත්‍රිය නැමති සුන්දරියට
පෙම් කරමි.
කුසීත අන්ධකාරය
මට නුඹ නොපෙන්වයි.
එහෙයින්, රාත්‍රිය නැමති සුන්දරියට
මම පෙම් කරමි...

මගේ සිරුරේ වූ
අසාමාන්‍ය ලප මෙන් අසාමාන්‍ය
භූ විෂමතා
මේ තැන්නේදී
මට හමුවිය.
ඇතැම් තැන්වල මුදුන දිය වූ
අවසාදිත පාෂාණ කඳුය,
ඇතැම් තැන්වල
ඇසිඩ් දිය අගල්ය...

මදක් නතර වීමි.

නුඹේ ආම්ලික කයට
මාගේ භාෂ්මික ආශාවන්
එක් කළ ආකාරය
විශ්ලේෂණය කරමි.
නමුත් අවක්ෂේපයක්
නොසෑදුනු ඒ අතීතය
හරිම උදාසීනය...

එක්තරා තැනකදී
නුඹේ උණුසුම් අ'තැඟිළි
මගේ සීතල ස්ථාන වටලන විට
දෙවියන් වහන්සේ විසින්
පිඹින ලද්දා වූ හුළං පොදින්
ගැහැනුන් නොව
මහා දේවදාර වනාන්තර බිහි වූ බව
එකහෙළා මම කියමි...

දකුණින් වූ දේවස්ථානයේ
යාතිකා ගී
වෙරළ'ත මවා ඇති
පොල් කොළ ගෙත්තම්
වැලි ගොඩැලි
රා පීප්ප හා අතුරු කඹ
දෙවියන් වහන්සේ ගැන
ගුප්ත රසයක් මවයි...

මේ නිම්නයේ කොතැනක
ඇකෝඩියනයක් ඇත්ද?

රාත්‍රිය එන්ට එන්ටම
ප්‍රණීත වෙයි,
ඒ හා සමගාමීව ම'සිරුර
දහදියෙන් නැහැවෙයි...

මා දැල් මසන'තරේ
ඉඳිල්කටුවලට හිල්වුණු,
තංගුසට කැපුණු
මගේ අතැ'ඟිළි
නුඹට කෙසේ පෙන්වම්ද?

මා ඇහිඳගත්
ඇකෝඩියනයේ හඬ ගිලිමින්
බල්ලෝ උඩු බුරති.
නිම්නයම දෙදරා යයි,
වැටකේ පඳුරු අතරින්
සාන්ත හෙලේනා දෙව් මැදුර පෙනෙයි...

නෙබියුලාවේ
සොඳුරුම තැන්නේ
ඉසුරුතම කෙළවරට
දැන් පැමිණියෙමි.


*  *  *  *  *  *  *  *  *  *   *  *  *  *  *  *  *  *  *  *

                               තැන්නේ වූ
                               සුළං මෝල අද නැතත්
                               ඇති තරම් තිබේ
                               අදටත් සුළං නං !



Wednesday, April 9, 2014

සුනාමියට පස්සෙත් මං තාමත්...

              මං දැන් මැරෙන්න බයයි.
ඒත් පොඩි එකා ජීවිතේට එන්න කලින් එහෙම නෑ. කෝච්චියේ එල්ලිගෙන යනවා. නවත්තන්න කලින් කෝච්චියෙන් පනිනවා. අද්දන බස් එකේ එල්ලෙනවා. ගැංසි බැහැල මරා ගන්න යනවා. ඒත් එක්කම ගැඹුරු මුහුදෙ පීනනවා.
අමු ජීවිතේ ගත කරන කවුරුවත් මැරෙන්න බය නෑ මං හිතන්නෙ... සුනාමියත් මට මුහුද ගැන මාරාන්තික හැඟීමක් ගෙනත් දුන්නා.

            සුනාමියට පස්සෙත් මං තාමත් ආස අළු පාට හාෆ්ශීට් කොළයි ඔරෙක්ස් පෑනයි අරගෙන වැල්ලෙ ඔරුවකට පිට දීල වාඩිවෙලා හිතේ තියෙන හැමදේම ඒවගෙ ලියන්න. රැයක් දවාලක් නෑ. කොටින්ම වඩදිය බාදිය ගැනවත් දැනීමක් නෑ. ඒ අතරෙ නැව් සිය ගාණක දහස් ගණන් එළි මා දිහා බලන් ඉන්නව...

           වැස්ස වෙලාවට මුහුදෙ නාන එක, එක අතකට භයානක වුණත් ඒක හරිම ආස්වාදජනක වැඩක්. හිරිපොද සිරි සිරි ගාල මුහුදට වැටෙන කොට හරිම අපූරුයි. විශ්වාස කරන්න ඒ පුංචි වැහි බිඳු වෙරළට වැටෙන කොට හීන් හඬක් එනවා. ඒ වගේමයි මුහුදු රළවලට වැටිල බිඳෙන කොටත් අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන හඬකුත් පෙනුමකුත් රළට එනව...

          වැස්ස වහිනකොට මුහුදු රැළි තරමක් උසට නැගෙනවා. සාමාන්‍යයෙන් අපේ ඉනවටක්  තරමට ගැඹුරක ඉන්නවනම් කරවටක් ගිලෙන තරමට ඉස්සෙනවා. ඒ වගේම රැළි කැරකෙන්නත් පටන් ගන්නවා. මං ඒ සිදුවීම්, ඒ කියන්නෙ මුහුදට වහින සිදුවීමට කියන්නෙ "තෝර වැස්ස" කියල. මොකද අම්ම සමූපකාරෙන් ගෙනාපු තෝර පරිප්පු ටික ගොට්ට ලිහල වතුර එකට හලනකොට එන සද්දෙ තමයි වැහි බිඳු මුහුදට වැටෙනකොට එන්නෙ...

          ගොඩගසන රැලල්ක් රැල්ලක් ගානෙ මුහුදු වෙරළෙ මුහුද හා ගැටෙන දාරය කන්‍යාවක් වෙනව කියල මට හිතෙනව. හැම අලුත් රැල්ලක්ම ඇලුත් වැලි අහුරු ගණන් අරන් තමයි ගොඩට එන්නෙ. ඈත පළාත්වල මිනිස්සු ආසාවටත්, කොහේහරි ඉන්න කට්ටඩියෙක් ගුරුකම්වලටත් මේ කන්‍යා මුහුදු වැලි අරගෙන යනවා. අපේ සීයත් ඉස්සර දවසක කන්‍යා මුහුදු වැලි ගන්න ඕනෙ හැටි නුවර පුංචි අම්මට කියල දුන්න.රැල්ලක් ඇවිල්ල ගියාට පස්සෙ ඒ රැල්ල නොපාගා මුහුද පැත්තට හිටගෙන ඒ කියන්නෙ ගොඩබිමටත් මුහුදටත් පිටු නොපා පැත්තට හිඳගෙන ඉන්න තැනම කකුල් තියල කකුලට අඩියක් විතර ඉස්සරහ තියෙන වැලි තමා ගන්න ඕනෙ...

කොහොම වුණත් මට මුහුදත් එක්ක තියෙන මතක සටහන් අප්‍රමාණයි.

පොඩි කාලෙ ඉඳන් මං ඇඳපු බොහෝ චිත්‍රවල තේමාව වුණේ එක්කෝ මුහුදු වෙරළක්. නැත්තම් වැසි දිනයක්. පළමු තේමාව යටතේ ඇඳපු චිත්‍රවල මුහුද දෙසට ඇදී ගිය, එකිනෙක හා හරහා ගිය (වැඩි කිරීමේ ලකුණ මෙන්) පොල් ගස් 5ක් 6ක් තියෙනව. ඔරුවක් තියෙනවා. කාක්කො දෙතුන් දෙනෙක්
(අද ඇන්දනම් වැහිළිහිණි ) ඉන්නවා. ඔය අතරෙ මුහුද දෙස බලාගෙන සිත්තරාට (මට ) පිටුපාගෙන දිග කොණ්ඩ කරලක් තියෙන, චීත්ත ගවුමක් ඇඳගත්තු කෙල්ලෙක් පොල් ගසකට හේත්තුවෙලා ඉන්නවා...

ඒ චිත්‍රය (චිත්‍ර ) කාලානුරූපීයව ලස්සනයි. එත් අවාසනාවකට ද්විමානයි...








Tuesday, March 11, 2014

උත්තානය...



කීවෙහිය නුඹ,
                            '' පුලුවන්නම් ඉන්ට
                            දින සීයක් රෑට
                            මගේ ඇඳ යට
                            කැමති වෙමි නුඹට.''

*  *  *  * *  *  *  *  *  *  *  *

අනූනව වැනිදා රෑ දොළහට
මා පසුතැවෙන'යුරු බලන්ට
නුඹ හිස පෙවීහිය ඇඳ යටට.

*  *  *  * *  *  *  *  *  *  *  *

කීවෙමි මම,
                            '' නුඹ එපා මට.''



Friday, March 7, 2014

ගණං මිසුයි , විද්‍යා මිසුයි






වැඩිපුරම හිත ගියෙ මට
වටකුරු
හින්දු අරාබි ඉලක්කම්වලට
වැඩිපුරම අත ගියෙ මට
උස දිගැටි
ආවර්තිතා වගුවට



පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.