[http://www.theatlantic.com/infocus/2013/12/2013-hubble-space-telescope-advent-calendar/100637/] |
තාරකා දොරටුවක් වැනි
ගතික සමතුලිතතාවක් ඇති
පරිවර්තන නිතර සිදුවන
මිහිමත ඇතීනා බඳු
බාඳුරා නෙබියුලාවට ඇතුලු වෙමි
නැවතත් වස්තුව සොයා ඇදෙමි...
තැන්නකි එහි, ශේෂ කඳු ඇති.
හඳෙන් සාරය උරා බී ඇතිවාක් මෙනි
තරු මලානිකව ගොසිනි...
ලේ බොන්නට තතනන
වැම්පයරයකු මෙන්
කුරුස ගොඩක් මැද මා ද
දණ ගසා ඉන්න හැටි...
මළවුන් අතර සිටින මම
මළවුන් අතරින් ඉතා පහසුවෙන් නැගිට,
අන්ධකාර රාජධානියේ කම්බිලිය
තදින් පොරවා ගමි,
නෑඹුල් පයෝධර තුඩු සොයමින්
කුස්කුටා වැල් අතර පෙරළෙමි...
තැනිතලා තැන්නේ තැන තැන වූ
මඩවගුරු මුදා හරින
මධ්‍යසාර රස දිවට දනවන
ඇඹුල් සුවඳ,
නුඹේ කඳුලුවල
නුඹේ දහදියවල
නුඹේ තරලවල
ලුණු රස
මට මතක් කරවයි...
ඒ ඔස්සේ මං
රාත්‍රිය නැමති සුන්දරියට
පෙම් කරමි.
කුසීත අන්ධකාරය
මට නුඹ නොපෙන්වයි.
එහෙයින්, රාත්‍රිය නැමති සුන්දරියට
මම පෙම් කරමි...
මගේ සිරුරේ වූ
අසාමාන්‍ය ලප මෙන් අසාමාන්‍ය
භූ විෂමතා
මේ තැන්නේදී
මට හමුවිය.
ඇතැම් තැන්වල මුදුන දිය වූ
අවසාදිත පාෂාණ කඳුය,
ඇතැම් තැන්වල
ඇසිඩ් දිය අගල්ය...
මදක් නතර වීමි.
නුඹේ ආම්ලික කයට
මාගේ භාෂ්මික ආශාවන්
එක් කළ ආකාරය
විශ්ලේෂණය කරමි.
නමුත් අවක්ෂේපයක්
නොසෑදුනු ඒ අතීතය
හරිම උදාසීනය...
එක්තරා තැනකදී
නුඹේ උණුසුම් අ'තැඟිළි
මගේ සීතල ස්ථාන වටලන විට
දෙවියන් වහන්සේ විසින්
පිඹින ලද්දා වූ හුළං පොදින්
ගැහැනුන් නොව
මහා දේවදාර වනාන්තර බිහි වූ බව
එකහෙළා මම කියමි...
දකුණින් වූ දේවස්ථානයේ
යාතිකා ගී
වෙරළ'ත මවා ඇති
පොල් කොළ ගෙත්තම්
වැලි ගොඩැලි
රා පීප්ප හා අතුරු කඹ
දෙවියන් වහන්සේ ගැන
ගුප්ත රසයක් මවයි...
මේ නිම්නයේ කොතැනක
ඇකෝඩියනයක් ඇත්ද?
රාත්‍රිය එන්ට එන්ටම
ප්‍රණීත වෙයි,
ඒ හා සමගාමීව ම'සිරුර
දහදියෙන් නැහැවෙයි...
මා දැල් මසන'තරේ
ඉඳිල්කටුවලට හිල්වුණු,
තංගුසට කැපුණු
මගේ අතැ'ඟිළි
නුඹට කෙසේ පෙන්වම්ද?
මා ඇහිඳගත්
ඇකෝඩියනයේ හඬ ගිලිමින්
බල්ලෝ උඩු බුරති.
නිම්නයම දෙදරා යයි,
වැටකේ පඳුරු අතරින්
සාන්ත හෙලේනා දෙව් මැදුර පෙනෙයි...
නෙබියුලාවේ
සොඳුරුම තැන්නේ
ඉසුරුතම කෙළවරට
දැන් පැමිණියෙමි.
* * * * * * * * * * * * * * * * * * * *
තැන්නේ වූ
සුළං මෝල අද නැතත්
ඇති තරම් තිබේ
අදටත් සුළං නං !