Pages

Thursday, February 13, 2014

සාරය


   
     (pix - http://fineartamerica.com/featured/the-essence-of-life-gun-legler.html)


භාගික ආසවනයෙන්වත්
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය

උපන්දා පටන් එක් රැස් වූ
සියලුම සෛල තරල
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය

නිතරම ඇඹුල් සුවඳක් වහනය වුණ
සෙමින් පෙරී ගිය දෙනාසා කුහර
යන්තමින් හෝ බුරුල් කළ
නුඹට සොයා ගත නොහී
මා සොයාගත් සාරය

නුඹේ සිරුරේ ද
මගේ මනසේ ද
නුඹේ වටොර අතරේ ද
මගේ ග්‍රන්තික ගැටිතිවල ද
ඉතිරි වූ සාරය

ඔබ, මා අතර වූ
එකම පටලය වූ
රතු පොත් රාක්කය,
ආත්ම පාලනය නොමති කල
මා පාලනය කළ,
මගේ මව් කඳට
අංකුර බද්ධ කළ
ඒ පොත් රාකක්ය තුළ
පුස් පෙනැහැලි දක්වා උරමින්
මා සෙවූ සාරය 
 
සෑම උදෑසනකම
කැටපතින් මුහුණ බලමින්
අදවත් විකසනය වී ඇත්දැයි
නුඹ කුහුලෙන් බලන කලලය,
ඒ විප්ලවය
නුඹේ දිවියේ ලිහී ගිය හදගැස්ම,
ඒ විප්ලවය
බඳුන් ගතකළ අපේ බලාපොරොත්තු,
ඒ විප්ලවය

අප, ව්‍යධියකින් මෙන් එකතුකළ
ග්ලූකෝස්, ප්‍රෝටීන්
මේද අම්ල හා ග්ලිසරෝල්
ඩැහැගත්තේ අපට
ඉහළින් සිටි පිළිහුඩුවන් බව,
ගරිල්ලන් අමතක කළ ඒ
ස්වප්නමය සාරය...
තීරණාත්මක සාරය...

සියල්ල අතහැර දැමූ කළ
මේ අප උන්මත්තකයන් කළ,
එතෙක් පැවති ෆීනෝල මොළ
කුරුවල් කරමින්
සැමගේ ජීවිත ආම්ලික කළ
මෙයයි ඒ සාරය -

                                                               මද්‍යසාරය



පදාර්ථිකයන්...

පදාර්ථිකයා...