Pages

Monday, June 17, 2013

කුරුටු ගාන CR පොත - පිටු අංක 80

14.06.2013
රාත්‍රී 11.55
සුළං බොහොම තදයි...


]පනින්නටවත් සීමාවක් නොමැති
අසීමාන්තිකයාගේ රැය[


ඒක  අඳුරු රැයක් !
ඇඹලයින් ද
මා කෙරෙන් ඉවතට ගිය.



මා  ද , ම'සිතුවිලි ද
අඩුම ආයුෂ කලක් ඇති
මැයි මැස්සෙකු වූ
මැයි මාසයේ,
ඒක කුණාටු රැයක් !

පංගුකාරයින්ට
ආවේස නොවෙච්ච
ම'දිවිය,
පංගුකාරයින්ට දෙනු රිසින්
සැරසුණු,
රැවටුණු
ඒක  මූසල රැයක් !

සිතුවිලි බර
හදවතට දැනෙන'තරේ
නුඹ මගේ
ඇහි පිහාටු ගනිමින් සිටි
ඒක දිරාපත්වන රැයක් !

විකාර රූපී වුවමනාවන්ට
එරෙහිව, මගේ සෛල සටන් කළ
කාබන්ඩයොක්සයිඩ්
වැඩිපුර පිටකළ
එපා උන තැනකදී
රස්නෙ පහරක රස්නෙ
නිතඹට දැනුනු 
ඒක  අකාබනික රැයක් !


ඇත්තටම හෝ
අනවශ්‍ය දෙයකට
දර-දිය අදිමින් සිටි
ආකර්ෂණයක් පමණකැයි කියූ
ඒක නිව්මෝනියා රැයක් !

රිදවීම-නොරිදවීම
රැවටීම-නොරැවටීම
ඇත්ත-නැත්ත
අසීමාන්තික-සීමාන්තික
විකර්ෂණය-ආකර්ශනය
අතරේ දෝලනය උන
මා,
අවලම්භ බට්ටෙකු වූ
ඒක මංමුළාකාරී රැයක් !


 සඳකට හෝ කිසිදු තරුවකට
සිඹින්නට බැරි ලෙස
පෘතුවි කබොල මත
ඝනව වැඩි
නවද ගස් දෙකක
දැවටී වැඩෙන
රැසකිඳ වැලක්
ඉන්ම, සුවපත් වන රැයක් !

මහපොළොවේ කාන්දම් බලයට
හැමදා විරුද්ධ උනු මා
හැමකෙකුගෙන්ම විකර්ෂණය වී
නුඹ ගැබේ සදහටම
නිදන්ගත වූ
මේ මොහොතේ පටන්
ඒක සොඳුරු රැයක් !












 




 

Monday, June 10, 2013

මළවුන්ගේ දවස

ලෝකයම රවුම් බව
තේරුණා  මට...

ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.


සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...

නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.


බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.

නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.






මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.


* * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...











 

 


Wednesday, June 5, 2013

නැත. 

දිනෙක
මට වඩා විප්ලවකාරී
කවියෙකු
සිනාසෙන්නෙකු
මගපෙන්වන්නෙකු
හඬන්නෙකු
මිනිසෙකු
නුඹට හමුවනු ඇත...

නුඹ මා අතහරිනු ඇත.

එත්,
දෙනාසාපුට
තුලින් රිංගූ
නුඹේ ෆෙරමෝන
මා නුඹ පසින්
ඇදගෙන යනු ඇත...



* * * * * * * * * * * * * *

නැත. 




Tuesday, June 4, 2013

වල දැමූ මතක ගොඩ ගමි.
ගොඩ ගත්  මතක වල දමමි !   




අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනක්
ම'සිතින් රැගෙන
කම්හලේ දොරටුව මුලදී
ඔබ හමුවුණෙම්...

සිතුවිලි තුන
එකිනෙක පරයමින්
රඟන්නට පටන් ගති...
ඔය දෑස්
බලා සිටියාදැයි
අදටත් මම අසමි...
කට කට ගා
මගේ කෘන්තක
ගැටෙන විට
ඔබ දෙපසට ගස්සා ලූ
කොන්ඩාකරල් දෙකේ බර
මගේ හද ගැඹුරටම දැනුනි...

එක සිතුවිල්ලක්
මට පහල වූයේ ,
රිදියට ගලායන
ගංදෑලේ
නිදමින් හුන් විටදී ය...

දෙපයේ පැටලෙන
සීතල වතුර මකුළු දැල
ඍජුව ම 'නෙත් හැරවුයේ
හිස් අහසටයි...

කළුගඟට ඉහළින්
තත්පරයට මීටර ගණනක වේගෙන්
චන්ද්‍රිකාවක් ඇදී යයි...

       "තාත්ත වේගවත් රියැදුරෙක්...
                          මාත් රේස් පැද්දොත් නරකද ?"


මගේ ඒ වියරුව
සල්ලි කඳු ගොඩ ගසනවා
නිසැකය...

* * * * * * * * * * * * * * *

සිතින් දැකි
දෑසින් නොදැකි
හොල්මන් සමග
දොඩමළුවන්නට
වුවමනා විය මට ...
දූව පන්සල පාරේ සොහොනේ
නෝනිස් මුදලාලිගේ
බෑණාගේ සොහොනේ වල
මට ඊට උදව් විය ...

අඩි ගණන් උසට
මිනී  පිච්චුන එතන
හතර ගාතය විසිරුවා
උඩුබැලිව
අහස දෙස බලා හිඳින මොහොතේ
හඳ, මා මුවට
වචන වට්ටමින් සිටියේය...
දෙවැනි සිතුවිල්ල සිතට නැගින.

                              "දොස්තර කෙනෙක් වුණානම් මරු !
        පැලෙන්න හම්බකරතහැකි "


මේ මොහොතේ පසුතැවෙන
ජීව විද්‍යාව මට තුරුලු  විය.
මං  ජීව විද්‍යාවට තුරුළු වීමි.

* * * * * * * * * * * * * * *


කාලයාගේ අවෑමෙන්
නිතර නිතර ප්‍රශ්න තුනක්
අහන්නට වීමි ඇගෙන්...

                               "අඳුරත්, තෙරක් නොපෙනෙන අහසත්
                          හඬ ගසන්නේ
                මට ද? නුඹට ද ? "


                "හඳත්, ගැඹුරු ළිං පතුළත්
           හඬ ගසන්නේ
මට ද? නුඹට ද ? "


          "ඉක්කාවත්, ඔක්කාර රසයත්
     වෙන්කළ හදවත ඉකිගසන්නේ
මට ද? නුඹට ද ? "


අදටත් පිළිතුරු නොදුන්
මේ නටබුන් ප්‍රශ්න
බොහොම සංයමයෙන් යුතුව
හදවත කනිනවා
දැනේ තදට මට...

එක හුස්මට
පොත් කියවන කාලෙක
රතු පොත් රාක්කයක්
තුරුලු කරගෙන
මියගිය තාත්තගේ
ඇඳ  පුලුස්සන්නට පෙර,
පුතකු ලෙස ඒ මත
අවසානයට වතිරුනෙමි...

මුදුන් වහලයේ
මුදුන් උළුකැටවල
කුමේර බිඳී ඇති ගුල්වලින්
අහස මට දිස් විය...
එවෙලේ මට තුන්වැනි
සිතුවිල්ල පහල විය...

"උඹට පිස්සුද?
ද්‍රව්‍යාත්මක සංකල්පයක බරට එරෙහිවන
ගර්ෂණය සොයන්නේ?
මුලාව සහ වංචාව
භෞතිකව සූත්‍ර ගත කරන්නට
පුළුවන් උපායක්
ඉගෙන ගන්නේ !"












අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනත් 
ම'සිතින් දරාගෙන
කම්හලේ දොරටුව මුලදී

ඔබ මා ද
මා ඔබ ද
මග හැර ගියෙමු.
 





















Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.