Pages

Monday, March 26, 2012

අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය - [ඇලෙක්සි අර්බුසෝෆ්]






වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?

වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.

සර්ජි- තව ටික කලක් ඔහොම ගියාවෙකො. පොඩ්ඩො දෙන්න ටිකක් ලොකු වුනාට පස්සෙ අපි ඒ දෙන්නව ළමා පාසලකට දාමු. ඊට පස්සෙ ඔයාට වැඩිදුර ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි යන්න පුළුවන්.

වාල්යා- (විරාමයකට පසු අලසව) මම මොන වගේ රස්සාවක් කරනවටද ඔයා කැමති?

සර්ජි- කොන්ක්‍රීට් දානව වගේ වැඩක්. මේ කාලෙ ඉතාම වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට්.

වාල්යා- (එය පහත් කොට සලකමින්) කොන්ක්‍රීට්? මට ඕනෙ වෙලාවක කැෂියර් වැඩේ කරන්න පුළුවන්.

සර්ජි- එපා වාල්යා. ඔයා හිතන හැටි වැරදියි. (හැඟීමෙන්) මිනිහෙක් සන්තෝස වෙන්නෙ මොකක් හින්දද? තමුන් වැදගත් වැඩක් කරනව, තමුන්ට වඩා විශාල දේක තමුන් කොටස් කාරයෙක් වෙලා ඉන්නව කියන හැඟීම තමයි මිනිහෙකුට සතුට ලබා දෙන්නෙ.

වාල්යා- ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ.

සර්ජි- මට හරියට තේරෙන්න් නෑ ඒක විස්තර කරන්නෙ කොහොමද කියල. සමහර රස්සාවල් තියනව ඒවයින් මිනිස්සු ඉස්සර හිටියට වඩා ලොකු, වඩා හොඳ මිනිස්සු බවට පත් වෙනව. (මුදු ලෙස) ඔයා කොන්ක්‍රීට් වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් පස් හාරන යන්ත්‍රයෙ වැඩ කරන්න. ඉස්සෙල්ල අත් උදවු කාරයෙක් හැටියට පටන් අර ගන්නව. ඊට පස්සෙ රාත්‍රී පාසලට ගිහින් පුහුණු වෙනව. මම හිතන්නේ මේ වගේ වැඩකට ඔයාට හැකියාවක් තියනව කියල. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි සහකාර ෆෝමන් කෙනෙක් වාගෙ තත්ත්වයකට උසස්වීමක් ලබන්න. මට දැන ගන්න ලැබුණා වොල්ගා වේල්ලෙ වැඩ කරනවලු තරුණ ගෑණු ළමයෙක්. එයා තමයිලු පස් හාරන යන්ත්‍රය සම්පූර්ණයෙන් ම භාරව ඉන්නෙ. ඒක පුදුමයක් නෙවේ ද?

වාල්යා- (තරහෙන්) හොඳයි මගෙ වියදම් හොයාගන්න මා ලව්ව රස්සාවක් කරවන්න. ඕනෙ නම් මං කෙලින් ම යනවා සාප්පුවට. එතන හැමෝම මාව අඳුනනවා. මට තනියකුත් නෑ.

සර්ජි- වාල්යා!

වාල්යා- කෑ ගහන්න එපා. ළමයි දෙන්න ඇහැරෙයි.

සර්ජි- එහෙනං නවත්තගන්න ඔය කතාව.

වාල්යා- හොඳයි. සාප්පු රස්සාවෙ ඇති වැරැද්ද මොකද්ද? මම කැමතියි ඒක දැන ගන්න. මම ඒ රස්සාවෙන් හොඳ සල්ලියක් හොයා ගත්තා.

සර්ජි- (පුදුම වී) මොනව කිව්ව?

වාල්යා- ඔයා හිතුවද මම ලැබෙන පඩියෙන් ජීවත් වුනා කියලා. පිස්සු! එක එක්කෙනාගෙන් ඉතුරුවෙන කොපෙක්ස් දෙක තුන එකතු උනාම හවස් වෙන කොට හොඳ ගානක් මගෙ සාක්කුවට වැටෙනව.

සර්ජි- (කෑ ගසමින්) වාල්යා! (හඬ බාලකරමින්).. වාල්යා (ඇගේ හිස පිරිමදී) (තැන්පත් වෙමින්) වාල්යා!

වාල්යා- මට සමා වෙන්න සර්ජි. (ඈ දණින් වැටේ) මට සමාවෙන්න....

සර්ජි- එපා වාල්යා (ඈ නඟා සිටුවා ආදරයෙන් වැළඳ ගනිමින්) ඔය වගේ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා.

වාල්යා- මට හරිම මහන්සියි සර්ජි. මට දවස තිස්සෙම ළමයි දෙන්නගෙ වැඩ කරන්න තියෙනව. ඊට පස්සෙ රෑ කෑම උයන්නත් තියනව. පිඟන් කෝප්ප හෝදන්න, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන්න තියනවා. ඉතින් ඔයා වොල්ගා නදියෙ ඉන්න ගෑණියක් අගය කළාම... මට හරියට හිත රිදුන....

සර්ජි- (හිස පිරිමදිමින්) ඇති. ඇති. මම ආයෙන් වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින් අඬන්න එපා. මම මෝඩයෙක් කියල මට හිතෙනව. ඒත් මම ඔයාට කොච්චර ආදරේ ද කියල කියන්න බෑ වාල්යා. ඒක පුදුමයි.

වාල්යා- (කඳුළු අතරින් සිනාසෙමින්) පුදුමයි.

[-අන්ගාරා ගඟ ගලා බසී]

සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සි අර්බුසෝෆ් ගේ "It Happened in Irkutsk" නමැති නාට්‍යයේ පූර්ණ පරිවර්තනය- "අන්ගාරා ගඟ ගලා බසී" (2005- රන්ජිත් ධර්මකීර්ති- සරසවි ප්‍රකාශන) නාට්‍ය පිටපතෙන් උපුටා ගත් කොටසකි. මෙම නාට්‍යය මගින් පශ්චාත් විප්ලවීය රුසියානු සමාජය විවරණය කෙරෙන අතරම යොවුන් ප්‍රේමය පිළිබඳ දයාර්ද්‍ර බැල්මක් හෙලයි.

මෙම පරිවර්තිත පෙළ ඇසුරින්, රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළ "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යය මුල් වරට 1978 වසරෙ දී වේදිකා ගත කෙරිණි. වාල්යාගේ චරිතය සුනේත්‍රා සරච්චන්ද්‍රත් සර්ජිගේ චරිතය නිශ්ශංක දිද්දෙණියත් රඟ පෑ අතර අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණයේ අනෙක් මුල්ල වූ වික්ටර්ගේ චරිතය නීල් අලස් රඟපෑවේය. මියැසි මෙහෙයුම ප්‍රේමසිරි කේමදාසගෙනි. ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලද මෙම නිෂ්පාදනය ඉමහත් ප්‍රතිචාර ලබමින් වාර ගණනාවක් ලංකාව පුරා රඟහල් වල වේදිකා ගත කෙරිණි.


ඇලෙක්සි අර්බුසෝෆ්
පරිවර්තනය - රන්ජිත් ධර්මකීර්ති












පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.