Pages

Tuesday, December 9, 2014

ගැස්ම, තිගැස්ම, කටගැස්ම

මේ දැනුදු මම
ඔබ කපා කොටා
යළි, පිළිසකර කරමින් සිටිමි...

වේගයෙන් ගැහීගෙන ගැහීගෙන
ගිය නුඹේ පයෝධර
මා බාඳුරා ගොටුවට
ඇද දැමීමට සමත්කම් පෑහ...

ඒ තිගැස්ම !
ඒ සද්දය !
ඒ රස්නය !

නුඹේ තෙත බරිත ළය
මගේ ලේ කැටි ගැස්වීය.
වැදුනු තැන ලේ ගල් විය.
දැනුනු කල ලේ ගල් විය.
ඒ අතරේ ඒ රවුම්
මොනවාදෝ ඉල්ලීය...

+  +  +  +  +  +  +  +  +  +  +  +  +  +


කොටයක් ලයිට් කණුවකට වැටී
කණුව වතුරවලකට වැටී
විදුලිය කාන්දු වී
තිබුණත් පාර අවහිර වී...

ඒමට, ආපසු නොහැරුනෙමි.
සියල්ලම අතහැරෙන
ඒ හැරවුමට වඩා,
එකක් දෙකක් පමණක්
හෝ ඉතිරිවන
දිගු ගමන යාමට
මම ආසා කරමි...




Thursday, November 13, 2014

නුඹ ඉවරයි ! තිබ්බ ලස්සන හූරලම අරගෙන




( ලාවා සහ පෑන් කේක් යන සිතුවම ගසා ඇති ප්‍රධාන කන්‍යා සොහොයුරියගේ ලැගුම්හලට පෙනෙන කන්‍යාරාමය)

අදටත් මතකයට නැගෙන
නුඹ ලැග සිටි ඒ කන්‍යාරාමය...

ඇත්තටම එය
ශුද්ධ වූ පවුලේ එකක්මදැයි
එකල මට ලොකු ගැටලුවක් විය...

                                        (ගඟත් මුහුදත් අතර සමාන්තරව වැලි පරයක් පිහිටා ඇති දර්ශනයක දුර රූපයක්)
 
කන්‍යාරාමයට නුදුරු බිමෙක
ඇකේෂියා ගහක් යට හිඳ
ගං මෝයට එක එල්ලේම
පෙනෙන වෙරළේ පොප්ලර් ගස් දෙකක්
වවන හැටි නුඹ කීය...

(දුම්රියක් ගමන් කරයි )

අසලින් ගලායන ගං දියට
පා පොවා හෙමිහිට
දුයිෂෙන් කියවමින් ඔබ සිටින විට
මා සිටියේ කුරුලෑවලට
බෙහෙත් පෙත්තක් බොමිනි...                                                                       (කෙකටියා පඳුරු අතර දිය නයෙක්)
                                                                                                                                       
                                                                                                                                       (නුඹ කුතුහලෙන්)
" බෙහෙත් පෙත්තකට
හැඩයක් ඇත්තෙ ඇයි?

මගේ ලෙඩේට හදපු                                                                                        (නුඹ හිනැහෙමින් කියයි)
නියම හැඩයෙන් යුතු
බෙහෙත් පෙත්ත ඔබමයි "                                                                 

 (බිත්ති ඔරලෝසුවක තත්පර කටුව තත්පරයකට කිලෝමීටර දහයක වේගෙන් දුවයි.)




(2000 වසරේදී කළුතර ටවුම පෙන්වන රූපයක්. පරණ බස් නැවතුම.)

කැරළි ගහන වතුර බිංදු
බස්  නැවතුමෙ බිත්ති මතට
මා අලවා ඇත
නුඹ මා කියන කිසිවක්
තකන්නේම නැත.

මගේ නෙත් උතුරටද
නුඹේ නෙත් දකුණටද                     
හැරී වෙන්වී                                                               (කාගෙන යමින් සිටි නියපොත්තක් නියමලෙන් කැඩී වෙන්වේ.)
දහහතර වසක් 
ගතව ඇත...

නුඹව එකතැන තබා
මම වයසට ගියෙමි...
සඳට පැණීමට තැතනුවෙමි...                                                                              (සඳෙහි සමීප රූපයක්)   
ගාඩ් පෙට්ටියේ
ටෝච් එක ඇල්ලුවෙමි...                                                                         (6.46 අලුත්ගම මන්දගාමී දුම් රිය )


නුඹ එතැනමයි සිතා
හෙළයන්ගේ වාරි මර්ග සැලසුම්
මා අධ්‍යනය කරනවිට,                                                                                         (කුට්ටම් පොකුණ)
නුඹ නගරයේ කාණු පද්ධතියට
සැලසුම් අඳිමින් සිට ඇත...                                                          (හතර වැනි හරස් වීදිය වාරිමාර්ග සැලසුම් සටහන්)


මා පොල්කට්ටෙන් ද
නුඹ කහ වතුරෙන් ද
නාන අතරේ කාලය ද
ගතවිය...                                                                                (යතුරක් නැති දොර යතුරු හිලක්)


කාලාන්තරයකට පසුව
අහම්බෙන් අප මුණ ගැසුන
බිම්තඹුරු පිරි කසකස්තාන මිටියාවතෙන්                                                             (සුවිසල් කසකස්තාන තණ බිමක්)
අහුලාගත් කරදාසියක මා ලියූ යමක්                                                         (පින්නෙන් පෙඟුනු රෝස පැහැ කරදාසියක්)
ඔබට කීමට සිතෙයි...



*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *  *

නුඹ දැන් හරියට
ග්ලැසියරයක වැදී බිඳී ගිය
මුහුදුබත් වූ
නෞකාවක් වැනිය...





 







 

Friday, June 6, 2014

නෙබියුලාවට ඇතුලු වෙමි...


[http://www.theatlantic.com/infocus/2013/12/2013-hubble-space-telescope-advent-calendar/100637/]


තාරකා දොරටුවක් වැනි
ගතික සමතුලිතතාවක් ඇති
පරිවර්තන නිතර සිදුවන
මිහිමත ඇතීනා බඳු
බාඳුරා නෙබියුලාවට ඇතුලු වෙමි
නැවතත් වස්තුව සොයා ඇදෙමි...

තැන්නකි එහි,  ශේෂ කඳු ඇති.

හඳෙන් සාරය උරා බී ඇතිවාක් මෙනි
තරු මලානිකව ගොසිනි...

ලේ බොන්නට තතනන
වැම්පයරයකු මෙන්
කුරුස ගොඩක් මැද මා ද
දණ ගසා ඉන්න හැටි...

මළවුන් අතර සිටින මම
මළවුන් අතරින් ඉතා පහසුවෙන් නැගිට,
අන්ධකාර රාජධානියේ කම්බිලිය
තදින් පොරවා ගමි,
නෑඹුල් පයෝධර තුඩු සොයමින්
කුස්කුටා වැල් අතර පෙරළෙමි...

තැනිතලා තැන්නේ තැන තැන වූ
මඩවගුරු මුදා හරින
මධ්‍යසාර රස දිවට දනවන
ඇඹුල් සුවඳ,
නුඹේ කඳුලුවල
නුඹේ දහදියවල
නුඹේ තරලවල
ලුණු රස
මට මතක් කරවයි...

ඒ ඔස්සේ මං
රාත්‍රිය නැමති සුන්දරියට
පෙම් කරමි.
කුසීත අන්ධකාරය
මට නුඹ නොපෙන්වයි.
එහෙයින්, රාත්‍රිය නැමති සුන්දරියට
මම පෙම් කරමි...

මගේ සිරුරේ වූ
අසාමාන්‍ය ලප මෙන් අසාමාන්‍ය
භූ විෂමතා
මේ තැන්නේදී
මට හමුවිය.
ඇතැම් තැන්වල මුදුන දිය වූ
අවසාදිත පාෂාණ කඳුය,
ඇතැම් තැන්වල
ඇසිඩ් දිය අගල්ය...

මදක් නතර වීමි.

නුඹේ ආම්ලික කයට
මාගේ භාෂ්මික ආශාවන්
එක් කළ ආකාරය
විශ්ලේෂණය කරමි.
නමුත් අවක්ෂේපයක්
නොසෑදුනු ඒ අතීතය
හරිම උදාසීනය...

එක්තරා තැනකදී
නුඹේ උණුසුම් අ'තැඟිළි
මගේ සීතල ස්ථාන වටලන විට
දෙවියන් වහන්සේ විසින්
පිඹින ලද්දා වූ හුළං පොදින්
ගැහැනුන් නොව
මහා දේවදාර වනාන්තර බිහි වූ බව
එකහෙළා මම කියමි...

දකුණින් වූ දේවස්ථානයේ
යාතිකා ගී
වෙරළ'ත මවා ඇති
පොල් කොළ ගෙත්තම්
වැලි ගොඩැලි
රා පීප්ප හා අතුරු කඹ
දෙවියන් වහන්සේ ගැන
ගුප්ත රසයක් මවයි...

මේ නිම්නයේ කොතැනක
ඇකෝඩියනයක් ඇත්ද?

රාත්‍රිය එන්ට එන්ටම
ප්‍රණීත වෙයි,
ඒ හා සමගාමීව ම'සිරුර
දහදියෙන් නැහැවෙයි...

මා දැල් මසන'තරේ
ඉඳිල්කටුවලට හිල්වුණු,
තංගුසට කැපුණු
මගේ අතැ'ඟිළි
නුඹට කෙසේ පෙන්වම්ද?

මා ඇහිඳගත්
ඇකෝඩියනයේ හඬ ගිලිමින්
බල්ලෝ උඩු බුරති.
නිම්නයම දෙදරා යයි,
වැටකේ පඳුරු අතරින්
සාන්ත හෙලේනා දෙව් මැදුර පෙනෙයි...

නෙබියුලාවේ
සොඳුරුම තැන්නේ
ඉසුරුතම කෙළවරට
දැන් පැමිණියෙමි.


*  *  *  *  *  *  *  *  *  *   *  *  *  *  *  *  *  *  *  *

                               තැන්නේ වූ
                               සුළං මෝල අද නැතත්
                               ඇති තරම් තිබේ
                               අදටත් සුළං නං !



Wednesday, April 9, 2014

සුනාමියට පස්සෙත් මං තාමත්...

              මං දැන් මැරෙන්න බයයි.
ඒත් පොඩි එකා ජීවිතේට එන්න කලින් එහෙම නෑ. කෝච්චියේ එල්ලිගෙන යනවා. නවත්තන්න කලින් කෝච්චියෙන් පනිනවා. අද්දන බස් එකේ එල්ලෙනවා. ගැංසි බැහැල මරා ගන්න යනවා. ඒත් එක්කම ගැඹුරු මුහුදෙ පීනනවා.
අමු ජීවිතේ ගත කරන කවුරුවත් මැරෙන්න බය නෑ මං හිතන්නෙ... සුනාමියත් මට මුහුද ගැන මාරාන්තික හැඟීමක් ගෙනත් දුන්නා.

            සුනාමියට පස්සෙත් මං තාමත් ආස අළු පාට හාෆ්ශීට් කොළයි ඔරෙක්ස් පෑනයි අරගෙන වැල්ලෙ ඔරුවකට පිට දීල වාඩිවෙලා හිතේ තියෙන හැමදේම ඒවගෙ ලියන්න. රැයක් දවාලක් නෑ. කොටින්ම වඩදිය බාදිය ගැනවත් දැනීමක් නෑ. ඒ අතරෙ නැව් සිය ගාණක දහස් ගණන් එළි මා දිහා බලන් ඉන්නව...

           වැස්ස වෙලාවට මුහුදෙ නාන එක, එක අතකට භයානක වුණත් ඒක හරිම ආස්වාදජනක වැඩක්. හිරිපොද සිරි සිරි ගාල මුහුදට වැටෙන කොට හරිම අපූරුයි. විශ්වාස කරන්න ඒ පුංචි වැහි බිඳු වෙරළට වැටෙන කොට හීන් හඬක් එනවා. ඒ වගේමයි මුහුදු රළවලට වැටිල බිඳෙන කොටත් අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන හඬකුත් පෙනුමකුත් රළට එනව...

          වැස්ස වහිනකොට මුහුදු රැළි තරමක් උසට නැගෙනවා. සාමාන්‍යයෙන් අපේ ඉනවටක්  තරමට ගැඹුරක ඉන්නවනම් කරවටක් ගිලෙන තරමට ඉස්සෙනවා. ඒ වගේම රැළි කැරකෙන්නත් පටන් ගන්නවා. මං ඒ සිදුවීම්, ඒ කියන්නෙ මුහුදට වහින සිදුවීමට කියන්නෙ "තෝර වැස්ස" කියල. මොකද අම්ම සමූපකාරෙන් ගෙනාපු තෝර පරිප්පු ටික ගොට්ට ලිහල වතුර එකට හලනකොට එන සද්දෙ තමයි වැහි බිඳු මුහුදට වැටෙනකොට එන්නෙ...

          ගොඩගසන රැලල්ක් රැල්ලක් ගානෙ මුහුදු වෙරළෙ මුහුද හා ගැටෙන දාරය කන්‍යාවක් වෙනව කියල මට හිතෙනව. හැම අලුත් රැල්ලක්ම ඇලුත් වැලි අහුරු ගණන් අරන් තමයි ගොඩට එන්නෙ. ඈත පළාත්වල මිනිස්සු ආසාවටත්, කොහේහරි ඉන්න කට්ටඩියෙක් ගුරුකම්වලටත් මේ කන්‍යා මුහුදු වැලි අරගෙන යනවා. අපේ සීයත් ඉස්සර දවසක කන්‍යා මුහුදු වැලි ගන්න ඕනෙ හැටි නුවර පුංචි අම්මට කියල දුන්න.රැල්ලක් ඇවිල්ල ගියාට පස්සෙ ඒ රැල්ල නොපාගා මුහුද පැත්තට හිටගෙන ඒ කියන්නෙ ගොඩබිමටත් මුහුදටත් පිටු නොපා පැත්තට හිඳගෙන ඉන්න තැනම කකුල් තියල කකුලට අඩියක් විතර ඉස්සරහ තියෙන වැලි තමා ගන්න ඕනෙ...

කොහොම වුණත් මට මුහුදත් එක්ක තියෙන මතක සටහන් අප්‍රමාණයි.

පොඩි කාලෙ ඉඳන් මං ඇඳපු බොහෝ චිත්‍රවල තේමාව වුණේ එක්කෝ මුහුදු වෙරළක්. නැත්තම් වැසි දිනයක්. පළමු තේමාව යටතේ ඇඳපු චිත්‍රවල මුහුද දෙසට ඇදී ගිය, එකිනෙක හා හරහා ගිය (වැඩි කිරීමේ ලකුණ මෙන්) පොල් ගස් 5ක් 6ක් තියෙනව. ඔරුවක් තියෙනවා. කාක්කො දෙතුන් දෙනෙක්
(අද ඇන්දනම් වැහිළිහිණි ) ඉන්නවා. ඔය අතරෙ මුහුද දෙස බලාගෙන සිත්තරාට (මට ) පිටුපාගෙන දිග කොණ්ඩ කරලක් තියෙන, චීත්ත ගවුමක් ඇඳගත්තු කෙල්ලෙක් පොල් ගසකට හේත්තුවෙලා ඉන්නවා...

ඒ චිත්‍රය (චිත්‍ර ) කාලානුරූපීයව ලස්සනයි. එත් අවාසනාවකට ද්විමානයි...








Tuesday, March 11, 2014

උත්තානය...



කීවෙහිය නුඹ,
                            '' පුලුවන්නම් ඉන්ට
                            දින සීයක් රෑට
                            මගේ ඇඳ යට
                            කැමති වෙමි නුඹට.''

*  *  *  * *  *  *  *  *  *  *  *

අනූනව වැනිදා රෑ දොළහට
මා පසුතැවෙන'යුරු බලන්ට
නුඹ හිස පෙවීහිය ඇඳ යටට.

*  *  *  * *  *  *  *  *  *  *  *

කීවෙමි මම,
                            '' නුඹ එපා මට.''



Friday, March 7, 2014

ගණං මිසුයි , විද්‍යා මිසුයි






වැඩිපුරම හිත ගියෙ මට
වටකුරු
හින්දු අරාබි ඉලක්කම්වලට
වැඩිපුරම අත ගියෙ මට
උස දිගැටි
ආවර්තිතා වගුවට



Monday, March 3, 2014

කේන්තිකාරයකුගේ හදවත

කකියවන මා හදවත
නිල මැස්සන්ට හඬගසයි....
මියැදෙන්නට මෙන්;

පහල සානුව පුරා වැවුණු
ගාඩ්නියා මල් සුවඳ
ජීවිතය කියාදෙන්නට තැතනුවද
කොනිති ගහයි මා හද,
පූර්ණ චන්ද්‍රග්‍රහණයට හඬ ගසයි...
හුස්ම නොගන්නට මෙන්;

පාලු පාලම උඩදි මුණ ගැහුනු
කුකිසෝගෙ ළමැද
මැදවන හද ගැස්ම
මට යමක් දෙන්ට තැත් කරයි...
පුපුරු ගසයි මා හදවත
ලාවා පිටදමන්නට මෙන්;


ගම් මායිමේ කෙළවරටම වැටුණු
පින් එක ගැලවූ මගේ ග්‍රෙනේඩය
හදවතට තුරුලු කරගත්
තල්ගස් මනාලිය....
යාන්ත්‍රික ශ්ලෝක මුමුනමින් හඬයි
මතකය මකන්නට මෙන්;

ඉකිබිඳින මා හදවත
කැකෑරෙන වා සුලියකට හසුවෙයි...
ආසවෙන් මෙන්.









Thursday, February 13, 2014

සාරය


   
     (pix - http://fineartamerica.com/featured/the-essence-of-life-gun-legler.html)


භාගික ආසවනයෙන්වත්
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය

උපන්දා පටන් එක් රැස් වූ
සියලුම සෛල තරල
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය

නිතරම ඇඹුල් සුවඳක් වහනය වුණ
සෙමින් පෙරී ගිය දෙනාසා කුහර
යන්තමින් හෝ බුරුල් කළ
නුඹට සොයා ගත නොහී
මා සොයාගත් සාරය

නුඹේ සිරුරේ ද
මගේ මනසේ ද
නුඹේ වටොර අතරේ ද
මගේ ග්‍රන්තික ගැටිතිවල ද
ඉතිරි වූ සාරය

ඔබ, මා අතර වූ
එකම පටලය වූ
රතු පොත් රාක්කය,
ආත්ම පාලනය නොමති කල
මා පාලනය කළ,
මගේ මව් කඳට
අංකුර බද්ධ කළ
ඒ පොත් රාකක්ය තුළ
පුස් පෙනැහැලි දක්වා උරමින්
මා සෙවූ සාරය 
 
සෑම උදෑසනකම
කැටපතින් මුහුණ බලමින්
අදවත් විකසනය වී ඇත්දැයි
නුඹ කුහුලෙන් බලන කලලය,
ඒ විප්ලවය
නුඹේ දිවියේ ලිහී ගිය හදගැස්ම,
ඒ විප්ලවය
බඳුන් ගතකළ අපේ බලාපොරොත්තු,
ඒ විප්ලවය

අප, ව්‍යධියකින් මෙන් එකතුකළ
ග්ලූකෝස්, ප්‍රෝටීන්
මේද අම්ල හා ග්ලිසරෝල්
ඩැහැගත්තේ අපට
ඉහළින් සිටි පිළිහුඩුවන් බව,
ගරිල්ලන් අමතක කළ ඒ
ස්වප්නමය සාරය...
තීරණාත්මක සාරය...

සියල්ල අතහැර දැමූ කළ
මේ අප උන්මත්තකයන් කළ,
එතෙක් පැවති ෆීනෝල මොළ
කුරුවල් කරමින්
සැමගේ ජීවිත ආම්ලික කළ
මෙයයි ඒ සාරය -

                                                               මද්‍යසාරය



Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.