Pages

Tuesday, December 29, 2015

දූන්යා...




ආදරේට මං උඹට 
දූන්යා කියන්නද ?

* * * * * * * * * * * * * * *

ජීවිතයේ නේකවිධ
දුක්ඛ දෝමනස්සයන් රැසක
ප්‌රාචීන උරැමකරැවකු වූ මම
ජීවිතයේ පළමුවතාවට
තමාගේම දෙපයින් නැගිටින
හිතුවක්කාරියක දුටිමි
ම'වැනිම දිවියකට
උරැමකම් කියන...

කැරළි ගැසුනු කෙ‌හෙරැළි
මූණ පුරා කඩාගත් නුඹට
"දූන්යා" යැයි
මම නම් තබමි...

* * * * * * * * * * * * * * *

මේ තෙත් පතනේ
මුදුනත පිසහරින
අතු බෙදුන සුළං ධාරාවෝ
වෙරළබඩ තැන්නේ සිට,
අනාගත වාක්‍ය
හා අවලාද
ම'සවනත අතුරති...

මගේ හුරතල් "දූන්යා"
නුඹ ඊට සූදානම්ද?

* * * * * * * * * * * * * * *

තැන්නට ඉහළින් පියාඹන
මූදු රාජාලි රෑන,
පහළම සානුවේ හිඳ
ට්රවුට් මසුන් නරඹන,
පිංතූරගත කරන
නුඹව මානන අයුරැ
කල්තියා මම දුටිමි...

නමුත්,
උහු රදළයෝය!
බලවත්හුය!
වනචාරීහුය!

සැලසුම් සියල්ල
සීරැවෙන් ඇඳිය යුත්තේ
එවැනි පරයන්
කශේරැවට මිස පර්‌ශුවලට
පිහියෙන් නොඅනින නිසාවෙනි....

* * * * * * * * * * * * * * *
රෑ බෝ විය...

* * * * * * * * * * * * * * *

මේ ලියන මොහොතේත්,
තැන්නට ඉහළින්
ඔරායන් බඳ පටිය
ශක්තිමත්ව දිලිසෙයි...
සඳ නම් පෙනෙන්නට නැත...
ඉඳහිට උල්කාශ්මයක්
එහෙමෙහෙ වෙයි...
කඳුකර වනාන්තර පද්ධතිය
අඟුටුමිට්ටන් සේ හිඳියි...
නුඹේ කිලිකිලිය
අවටින් දෝංකාර දෙත්ම
රාවණා ගැන වූ නුඹේ ප්රවාද
සිහියට නැගෙයි,
අද්භූත කාංසිය
ඉතිහාසය හාරා අවුස්සයි...

අනේ ආදර "දූන්යා"
තරැ දහස් ගණනක් යට
මුනින් තලාවී මා හිඳින
සත්ත්ව කුර නොගැටෙන
මේ මහා භූමියට
ඔබ එනවාද ?


* * * * * * * * * * * * * * *
එළිවෙන්න ළඟයි...

* * * * * * * * * * * * * * *

රදළයන්ට විරැද්ධව
සදාතනික සටනක යෙදෙන මට
"ග්රිගෝරි" වන්නට හැකිද?
මගේ ආදර "දූන්යා"
එක්කෝ උන් මා මරා දමාවි,
නැත්නම් මට සැඟවෙන්න වේවි,
"කොමියුනිස්ට් යකාගේ පුතා මරාපිය
උෟට ගහපිය ‌නතරෂ්කා"
උන් මොර දේවි...

ඒත්,
හැමදාම හෝ ඉඳහිට
පිනි පියළි විසිරැනු
පතන බිම දිගේ
ඇස් කැපෙන සුළං පහර'තරින්
රතුපාට පිටකවරැති
පොතත් තුරැලු කරගෙන
උඹ එතැයි
මම බලා හිඳිමි...

* * * * * * * * * * * * * * *

ආදරේට මං උඹට 
දූන්යා කියන්නද ?







Monday, December 14, 2015

ශීත ඝෘතුව (වසන්තය???) නිමාවන්නට පෙර....




උණුසුම්ම උණුසුම්
හැඟුම් ගොන්නකින්
පිරෙව්වාට මගේ හදවත 
ස්තුති කරන්නද
කොහොම උඹට...
උඹ නං හැබෑම
හිතුවක්කාරියක් තමා,
මගේ අල්තීනායි!



පරෙස්සම් වෙයන්
මුන් උඹව විකුණාවි!


එන්නට
බැරි වේවි මට...
අස්වයා පිටින් තියා පයින්වත්,
මොකද මං
දුයිෂෙන් නොවෙයි!





Friday, December 11, 2015

ගියා...

" අනේ නුඹ මට හිමි වුණා නම්..."
                              මම එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             "ශේක්ෂ්පියර්‌ගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               නුඹ කීවා....


       
" හැමෝටම, දැනෙන්න ආද‌ෙර්‌ කරන්න බෑ..."
                              නු ඹ එහෙම කිව්වොත්
                              ඒක හරියට
                             " ගාර්‌ෂියා ලෝකාගේ නාට්‍ය දෙබසක් " වැනියි
                               මං කීවා....


ඉල්ලීම සහ දැනීම
අතර දෝලනය වන
ආදරය නමැති
ඔරලෝසු බට්ටා
වෙන්වීම නමැති එලාම් එක
වදින විදිහට වැඩ සැලැස්වූවා...


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ මාකොළ වත්තට ගියා...
මං කිවුලවත්තට ගියා...
ඒ තොප්පිගල කොටි හිටපු කාලෙ.... 




Thursday, October 8, 2015

ආදරය සහ හරිත ලව


පාරෙ ගෙම්බෙක් මැරී සිටි
එක්තරා දිනෙක
නුඹ මගෙන්
පුන පුනා අසා සිටියේ
ආදරය ස්වයංපෝෂිතද ?

ඔව්! 
ආදරය ඇතුළේ
හරිත ලව තියේ නං
හරිත ලව ඇතුළේ
හරිතප්‍රද තියේ නං 
ඔව්!

" අහ් හා...
එසේ නම් ආදරය 
ග්ලූකෝස් නිපදවිය යුතුයි,
මා වෙහෙසව ආ කල 
නුඹේ ආදරය
ගිල දැමිය හැකියි!
ඉන් මට ගෙවී ගිය
මගේ ශක්තිය හිමිවෙ යි... 

බලන්න...  බලන්න...
දැන්ම බලන්න
නුඹේ ආදරයෙත්
හරිත ලව තියෙයිද ? "

බිඳ දැමූ පහන් එළිය
සුරුවමට වැදී 
කොන්තයට පරාවර්තනය වනවිට,
මැදියම් රැය ගෙවී යද්දී
නුඹ එසේ මුමුණමින් සිටියා...

නුඹේ ආදරයයැයි මා සිතූ
සෙල්ලම් පිස්තෝලය 
ම'සිත තුළ අඳින රූප සටහන් 
වචනවලට පෙරළමින් සිටින විට
ජීවිතයේ සියුම් තැන්වල ඇනුනු
කටු වගේ මතක බිඳු 
රුධිරය ලෙසින් නික්මෙනු
ම'දිටිමි...

එය එතරම්ම අසීරුය...
එය එතරම්ම අසීරුය...
ආදරය ස්වයංපෝෂිත ද යන්න
ප්‍රත්‍යක්ෂ්‍ය කිරීම
එතරම්ම අසීරුය...


හ්ම් ..ම්...
කොහොමත් සිනිදු
හෘත් මාංස 
නුඹේ නං තවත් සිනිදු ඇති 
සුළඟට ලෙලෙන 
ජනෙල් රෙද්ද මට කියයි...




* * * * * * * * * * * * * * * * * * * * * * * *






නුඹ සතුටු කරනු වස් 
මම තවමත් 
මගේ සෛලවලට 
හරිත ලව ඇතුළු කරමින් සිටිමි. 
මිදුනු ඇට මිදුළු
ඊට ඉඩ නොදේ !






             (https://www.reddit.com/r/Cosmos/comments/23pin6/did_episode_6_deeper_deeper_deeper_still_not/)













Monday, July 27, 2015

සබරගමු සඳ




ඇසල සඳ 
එබෙන විට
කුමුදු මල් 
පිපෙයි හෙමිහිට 

සේපාලිකා සුවඳ
ගෙනෙයි සිසිල මඳ මඳ
විලේ දියකාවුන්
තොරන් නටවයි කැලුම් විද විද 

පෝයක් ගෙවෙන විට
පතමි පැතුමන් සංසාරගත
නුදුරේම හෝ සමහර විට
සබරගමු සඳ වෙළනු ඇත මා ගත

මෝදු සඳු වළාකුළ මත
වයයි රබන් පදයක් හෙමිහිට 
මුමුණ මුමුණා ඔබේ වත
නගයි හසරැල් එ'සඳ විලසට

දෝතලු බටතුඹ කැන්ද නාදලු
මහා වනස්පතියන් ද සිත්කලු
ඇසල සඳවන් නුඹ වත නෙත්කලු
මිටිකිරක් ‌සේ ගෙනේ නවනලු    

Tuesday, June 16, 2015

නුඹේ හෘද සාක්ෂිය හෙවත් මගේ ඉරණම




අතීතය මැදින්
ආපසු නොයන්නට
ගිවිස ගත්තා
ඔබට මතකද ?

පැසවන වේදනාවක
රසබර දාංගලය
ඒ අතීතයේ තැනෙක
මම තබා තැබුවෙමි...

ම'හද ක්ෂේත්‍රඵලය
ඒ වේදනාවේ ක්ෂේත්‍රඵලයට
වඩා බොහෝ වැඩි නිසා
අතීතය තුළ ඒ වේදනාව
ගොජ දමමින් තවත් පැසවයි...

තාප්පෙට උඩින් විසිකළ
කොළ කෑල්ලක ලියූ
භූගත ප්‍රේමනීය සිතුවිල්ලක
වටිනාකම උහුලන්නේ
කළාඳුරු හෝ හුළංකීරිය
පඳුරක ආකන්දයෝය...

නුඹේ පියා පවසන පරිදි
ප්‍රේමය හිඟන්නෙක් නම්
හිඟාකෑම එහි ආත්මයයි,
ප්‍රේමය, ශක්තිය වැයවන
වැඩපිළිවෙළක් බව
ඔහුට අමතකවෙයි...
ඔහුට ප්‍රේමය "ටොම් ඇන්ඩ් ජෙරී"
මෙන් ද්විමානයි...
එහෙත් මතකෙට ගන්න,
සබඳතාවක් යනු
ජීවිත නාට්‍යයේ ජවනිකාවක් වෙයි...

ඔබත්, ඔබේ පියාත්
මමත්, මගේ මවත්
චරිත රඟපෑ ඒ වේදිකා නාට්‍යයේ,
නුඹේ පියා බිලී බාන්නාට
පණ පෙවීය.
මගේ මව මියැදෙමින් සිටින
නුග ගසට පණ පෙවීය.
දර්ශන වාර දහසකට පසු
මේ දර්ශන වාරයේත්
එය එසේම සිදු විය...

+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +

පිරිමියෙකුට නොහොබිනා තරමට
මම නුඹ රැකබලා ගතිමි.
ඒ අතීතය දෙපීලි නොමැති
සිල්පර කොටන් මෙනි. 







Thursday, April 30, 2015

මා, මාරියා සහ මාරියාව



උඹටවත්
මටවත්
ආදරේ කරන්නට,‌
හන්තාන ඉලුක් පඳුරු නොවිනි.
පේරා බිමේ ඇහැල කඳන් නොවිනි.
මහවැලි ඉවුරේ නිදිකුම්බා පඳුරු නොවිනි.
කොල්ලුපිටියේ කළු ගල් වැටි නොවිනි.

තිබුණෙ
මුහුදු කුකුළන්ගේ
හම් හා කොරළ වැපිරෑ
කරිජ්ජ වැල්ල පමණි...

බිඳෙන, මුමුණන රළ
ඩාලිගේ චිත්‍ර මෙනියි
නුඹ කී වෙහිය.
කකුළුවන් වෙට්ටු දමන හැටි
චේ ගේ ගරිල්ලා උපක්‍රම යැයි
මම කීමි...

නුඹ නොහිටින්නට
ඒ මූදු යායම
පල්ලියේ සොහොන මෙන් වන්නට තිබිණ,
මා නිතර පිටදී හුන්
ඇන්තනී මාමාගේ
නොපිට ගැසූ ඔරු කඳ
ෆාදර් ෂෙරාඩ්ගේ සොහොන් වල
වන්නට ඉඩ තිබුණි...

නුඹත් මාත් කූටාලු කළ
මහා රතු පොත් කන්දරාව,
අතුරේ යන්නාසේ
පීප්පවලට වහං වී
කියවාපු අන්දම
ඒ බිඳෙන, මුමුණන රළ
මට කියයි...

කොමියුනිස්ට් කඳක් යැයි
හංවඩු ගසා
වැල්ලේ පොඩි කර තිබූ
තාත්තාගේ කඳ
නුඹට මතකැ`ති

ඒ අවසරයෙන්
අම්මාට ළංවූ
ලොකු තාත්තාත්
නුඹට මතකැ`ති

අත් පා, ඇඟිලි, ඔළු
මාළුන්ට දන් දුන්
රැඩිකල් මාළුකාරයන්
නුඹට මතකැ`ති

අපව බිහි කළ
අවර්ණ, පිලී රස මා වැල්ල
තනිකරම රතු පැහැ කළ`යුරු
නුඹට මතකැ`ති

ආදරයේ රතු පැහැය
අපි අප බෙදාගත යුතු කලෙක
සනුහරේ වෙනස් කරන්නට
කැප කළ හැටි
නුඹට මතකැ`ති

මේ හැම මතක මතු නොකර නුඹ
දිවි ගෙවනවා`තියි  මම සිතමි...

නුඹ නැවත ආ දිනෙක,

අපි වෙළුණු, පෙරළුණු,
දෙපා පැටළුණු
බිම්තඹුරු වැල් යාය...
එක්ව මළපහ කළ
කළු පාට කාණුව...
මාවෝ, මින් ගැන
සටහන් තැබූ
සිනිදු මැටි පොළොව...
හදිසියට වහං වුණ
දානියලේ මාමාගේ
උෟරු කොටුව...
උදේ දරුවන්ට
රාත්‍රියේ අපට
ඉගැන්වූ ඈන් අක්කාගේ
මොන්ටිසෝරිය...
තාම එහෙමමයි
නුඹ කියාවි.

චිත්‍ර කාමරේ නුඹේ කැන්වස
ලියන කාමරේ මගේ කොළ මිටි
අතීතයේ සාක්කිය දේවියි
නුඹ කියාවි...

එක්වරම
ආගිය අතක් නොවුණත්
නුඹ ජීවතුන`තර බව
මම දනිමි...

දෙවරක්... තෙවරක්...
සියවරක්... දහස්වරක්...
සිතමි...

නුඹට නුඹ අහිමිවීමට පෙර
නුඹ අන්තර්ධාන වියෙහිය.
මට මා අහිමිවන්නට පෙර
මතක සටහන තබමි.










- - - - - - --- - - - ----- - - ----- - - - - ----- - - - -

නුඹේ වග-තුග සටහන් මින් නිමි. 
20. 04. 2015 


















පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.