උඹටවත්
මටවත්
ආදරේ කරන්නට,
හන්තාන ඉලුක් පඳුරු නොවිනි.
පේරා බිමේ ඇහැල කඳන් නොවිනි.
මහවැලි ඉවුරේ නිදිකුම්බා පඳුරු නොවිනි.
කොල්ලුපිටියේ කළු ගල් වැටි නොවිනි.
තිබුණෙ
මුහුදු කුකුළන්ගේ
හම් හා කොරළ වැපිරෑ
කරිජ්ජ වැල්ල පමණි...
බිඳෙන, මුමුණන රළ
ඩාලිගේ චිත්‍ර මෙනියි
නුඹ කී වෙහිය.
කකුළුවන් වෙට්ටු දමන හැටි
චේ ගේ ගරිල්ලා උපක්‍රම යැයි
මම කීමි...
නුඹ නොහිටින්නට
ඒ මූදු යායම
පල්ලියේ සොහොන මෙන් වන්නට තිබිණ,
මා නිතර පිටදී හුන්
ඇන්තනී මාමාගේ
නොපිට ගැසූ ඔරු කඳ
ෆාදර් ෂෙරාඩ්ගේ සොහොන් වල
වන්නට ඉඩ තිබුණි...
නුඹත් මාත් කූටාලු කළ
මහා රතු පොත් කන්දරාව,
අතුරේ යන්නාසේ
පීප්පවලට වහං වී
කියවාපු අන්දම
ඒ බිඳෙන, මුමුණන රළ
මට කියයි...
කොමියුනිස්ට් කඳක් යැයි
හංවඩු ගසා
වැල්ලේ පොඩි කර තිබූ
තාත්තාගේ කඳ
නුඹට මතකැ`ති
ඒ අවසරයෙන්
අම්මාට ළංවූ
ලොකු තාත්තාත්
නුඹට මතකැ`ති
අත් පා, ඇඟිලි, ඔළු
මාළුන්ට දන් දුන්
රැඩිකල් මාළුකාරයන්
නුඹට මතකැ`ති
අපව බිහි කළ
අවර්ණ, පිලී රස මා වැල්ල
තනිකරම රතු පැහැ කළ`යුරු
නුඹට මතකැ`ති
ආදරයේ රතු පැහැය
අපි අප බෙදාගත යුතු කලෙක
සනුහරේ වෙනස් කරන්නට
කැප කළ හැටි
නුඹට මතකැ`ති
මේ හැම මතක මතු නොකර නුඹ
දිවි ගෙවනවා`තියි මම සිතමි...
නුඹ නැවත ආ දිනෙක,
අපි වෙළුණු, පෙරළුණු,
දෙපා පැටළුණු
බිම්තඹුරු වැල් යාය...
එක්ව මළපහ කළ
කළු පාට කාණුව...
මාවෝ, මින් ගැන
සටහන් තැබූ
සිනිදු මැටි පොළොව...
හදිසියට වහං වුණ
දානියලේ මාමාගේ
උෟරු කොටුව...
උදේ දරුවන්ට
රාත්‍රියේ අපට
ඉගැන්වූ ඈන් අක්කාගේ
මොන්ටිසෝරිය...
තාම එහෙමමයි
නුඹ කියාවි.
චිත්‍ර කාමරේ නුඹේ කැන්වස
ලියන කාමරේ මගේ කොළ මිටි
අතීතයේ සාක්කිය දේවියි
නුඹ කියාවි...
එක්වරම
ආගිය අතක් නොවුණත්
නුඹ ජීවතුන`තර බව
මම දනිමි...
දෙවරක්... තෙවරක්...
සියවරක්... දහස්වරක්...
සිතමි...
නුඹට නුඹ අහිමිවීමට පෙර
නුඹ අන්තර්ධාන වියෙහිය.
මට මා අහිමිවන්නට පෙර
මතක සටහන තබමි.
- - - - - - --- - - - ----- - - ----- - - - - ----- - - - -
නුඹේ වග-තුග සටහන් මින් නිමි.
20. 04. 2015