අතීතය මැදින්
ආපසු නොයන්නට
ගිවිස ගත්තා
ඔබට මතකද ?
පැසවන වේදනාවක
රසබර දාංගලය
ඒ අතීතයේ තැනෙක
මම තබා තැබුවෙමි...
ම'හද ක්ෂේත්‍රඵලය
ඒ වේදනාවේ ක්ෂේත්‍රඵලයට
වඩා බොහෝ වැඩි නිසා
අතීතය තුළ ඒ වේදනාව
ගොජ දමමින් තවත් පැසවයි...
තාප්පෙට උඩින් විසිකළ
කොළ කෑල්ලක ලියූ
භූගත ප්‍රේමනීය සිතුවිල්ලක
වටිනාකම උහුලන්නේ
කළාඳුරු හෝ හුළංකීරිය
පඳුරක ආකන්දයෝය...
නුඹේ පියා පවසන පරිදි
ප්‍රේමය හිඟන්නෙක් නම්
හිඟාකෑම එහි ආත්මයයි,
ප්‍රේමය, ශක්තිය වැයවන
වැඩපිළිවෙළක් බව
ඔහුට අමතකවෙයි...
ඔහුට ප්‍රේමය "ටොම් ඇන්ඩ් ජෙරී"
මෙන් ද්විමානයි...
එහෙත් මතකෙට ගන්න,
සබඳතාවක් යනු
ජීවිත නාට්‍යයේ ජවනිකාවක් වෙයි...
ඔබත්, ඔබේ පියාත්
මමත්, මගේ මවත්
චරිත රඟපෑ ඒ වේදිකා නාට්‍යයේ,
නුඹේ පියා බිලී බාන්නාට
පණ පෙවීය.
මගේ මව මියැදෙමින් සිටින
නුග ගසට පණ පෙවීය.
දර්ශන වාර දහසකට පසු
මේ දර්ශන වාරයේත්
එය එසේම සිදු විය...
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
පිරිමියෙකුට නොහොබිනා තරමට
මම නුඹ රැකබලා ගතිමි.
ඒ අතීතය දෙපීලි නොමැති
සිල්පර කොටන් මෙනි.