Pages

Monday, April 25, 2016

දැන් මගෙ අතත් පිච්චෙන්න පටන් අරන් ...


නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?

හරිම අපූරැයි එය...

"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත 
පිච්චෙනවාමයි කොහොමහරි ... "  

නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....

අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...

ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...




* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *




අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...


අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම  
නියමතයි පිච්චෙන්ට 
අද ඉදන්...





Monday, April 18, 2016

ස්ව-රූප



නපුරු නිජ බිම
වෙන් කළා
මාත් ඈත් 

පර්දාවත් අමුඩ ලේන්සුවත්
නපුරු වූවා 
වෙන් කරන්නට 
මාත් ඈත් 

වාසගම ජාතකය
නපුරුකම් පෑවා
දුරස් කරන්නට
මාත් ඈත් 

පොල් ගස් තල් ගස් 
එදිරි වූවා
එකතු වන විට 
මාත් ඈත් 

වහි දිය පාට තිලකය
පපුව පිර වූ රෝම කූප
නොගැලපුනා ද
එක් කරන්නට 
මාත් ඈත් 

රතු ලෙයට ඕනෑ වුණා
මුහු කරන්ට
මාත් ඈත් 

ඒත්,
ගං දියට ඕනෑ වුණා
සනසන්න
මාත් ඈත්. 

Thursday, March 31, 2016

ඉලක්කය සහ සාතන්






දින සිය ගණනකට පෙර
නුඹේ හැම සයිබර් අකුරකම
ඉලක්කය මා යැයි
මම සිතුවෙමි...

මට වැරදින !

මතකයන් සමාන වුවත්
ඔය නුඹ කියන දේවල්
මට නොවන බැව්
දැන් පසක් වී හමාරයි...

ඉන්ද්රජාලික යථාර්ථය
පාලිත යථාර්ථයක් වී හමාරයි...

නුඹ නැවත ඉපදුනත් (Reborn)
පුනරැත්පත්තිය ලැබුවත් (Reincanation)
යළි නොඑමී කීවත්
එන්න ඕනෑ යැයි කීවත්
ඉලක්කය වෙනකකු බවත්
දැන් හොදින් දනිම්...

ඔය පද, සිතුවිල, සහ අකුරැ
මිසයිල වුවත් ටෝපිඩෝ වුවත්
මිස්ටෙලෝ මල් පදුරැ වුවත්
ස්ටෙප්ස් තණපත් වුවත්
දේදුනු වුවත්
මී පැණි හෝ අතීසාරය වුවත්
මට, එක්කෝ
ඉලව්වක් නැත
නැත්නම්
නිනව්වක් නැත...

නුඹ,
බොරැකාර ලෝකයකි
නුඹේ පැවැත්ම,
කයිරාටික පාංශු ව්‍යුහයකි
ඉතින්,
මා රැවටීම උත්සාහ නො දරන්න...

නුඹ විශ්වය යැයි සිතුවාට
විශ්වය නුඹට වඩා
සෑහෙන්න විශාලය (Universe Vs Nebula)
ඔය අකුරැ, වචන
හැඩතල, පාට
කැන්වස, කඩදාසි කොළ
පිංතූර හා තේ පෝච්චිවලට
මා මුළා කළ නොහැකියි !

*****************************************************

තත්ත්වය මෙසේ තිබියදී
සිවිලිමේ උන් හූනෙක්
බිමට වැටෙයි...
නැට්ට වෙන් වෙයි...
හූනා දිව යයි...
නැට්ට නැටවෙමින් සිටියි.  

Wednesday, March 16, 2016

පණ ඇති පිනි

"පින්නටත් පණ තියෙනවා..."
මට මතකයි නුඹ කීවා,
මං ඇහුව ඇයි ??                     


"ඒකනෙ පින්නෙ හිටියම
ඔයාගෙ ඔළුව පොගල පොගල
සෙම හැදෙන්නනෙ !"                  
පස්සෙ, නහය උඩට ඇද ඇද
තමයි මා එක්ක කතාව
නැත්තං
ලේන්සු දෙක තුනක් විතර
මගේ තමයි ඉවර 

* * * * * * * * * * * * * * * * * 

ඇත්තටම පින්නට
පණ තියෙනවා 
දැන් දැන් මට දැනෙනවා...            

ඒ කාලෙ මට
හචිස් යනකොට
නුඹ අංකයක් කීවා !
දැන් මගේ ඔළුව
පොගලා හචිමක් යනකොට
මං උවමනාවෙන්ම                         
අංකයක් මතක් කරනවා !            

හැමදාම පාන්දර
හිතාමතාම මං 
පින්න යටට යනවා
සමහර පිංතූර මතකයන්ට
පණ ඒවි කියලා...                         

* * * * * * * * * * * * * * * * *

නුඹේ සිතුවම්වලින්
නිතරම ඉහිරැනේ පිනි,
මගේ කවිවල 
නුඹ හෙව්වෙම පිනි...                   

* * * * * * * * * * * * * * * * *

"ඔයාගෙ හිතත් හරියට
පිනි වැටුණු චිත්රයක්"

උදැහැනැක්කෙම
මං දුවන කොට
ඔබ මට ජර්සියක් විසිකළා
ජර්සිය ඇතුළෙ
මගේ හිස බොදවුණු
සිතුවමක් තිබුණා...                     

මට තාම මතකයි
අපි දෙදෙනාටම අමතකව
පින්නෙන් පෙගුනු
මගෙ මුද්දර පොතයි
තව රතු පොත් දෙකකුයි
අපේ ඇස්වලට කදුළු ගෙනාවා...    
ඒ පොත්වල තිබූ ගොඩක් දේ
පෙගිලම ගියා,

ඉතින් පිනිවලට පණ තියෙනවා!


* * * * * * * * * * * * * * * * *

දැන් නුඹේ කදුළුත්
පිනිදෝ කියා හිතෙනවා...

* * * * * * * * * * * * * * * * *

නුඹ කොහේ හිටියත්
නුඹේ හිසටත් කොණ්ඩ තුඩුවලටත්
කන්පෙතිවලටත් නළළ මැදටත්
පිනි බානවා ඇති,
සමහර විට
මතක දියවෙයි කියා
අර පන් තොප්පියම
නෑ!
වෙන හිස්වැසුමක් 
දැන් නුඹ දානවා ඇති.                   













Tuesday, February 23, 2016

නගා... (මැරූ අල)



මට නුඹ සමග
ගත කළ හැකි කාලයට
කල් ඉකුත් වීමේ දිනයක්
හා තැනක්
දැන් නියම වී ඇත...

ඔබත් මාත් අතර
කිසිවක් නොවූවායි
කියන්නට නොහැක...


එය ද්රව්යාත්මක ද ?
එතරම්ම 
ද්රව්යාත්මක ද ? 


නුඹට මාගෙන් ඇත්තේ
උපස්තරික වටිනාකමක් පමණි
ආදරණීය වටිනාකමක් නොවේ...

මා නුඹට නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?
අවර්ණ අජීවී නීරස
නිෂ්පාදනයක්
පමණක්ම වූයේ කෙසේද?

මේ කාර්තුව තුළම
නුඹ තව උපස්තර සොයා ගනීවි
එහෙයින්
තවදුරටත් මම
විප්ලවකාරයකු නොවෙමි....

නුඹේ එක විඤාණික සිතුවිල්ලකවත්
මම නැති කොට
තවත් නොඋනන
එවන් සිතුවිලි ගැන සිතීම
නිෂ්ඵලය...

ආදරය ශක්තියක්
නුඹට එය තේරේවි
මා අහිමි වූ පසු,
අවැසි කෙනෙකු ලැබෙනතුරැ
මම එය ගබඩා කර තබමි...

ආදරය එහි අර්ථයෙන්ම
අසම්මතයක්
මා නුඹට පැවසූ පරිද්දෙන්ම,



.




මම නුඹ සමග
ගත කළ කාලයට
සංකල්පයක් අර්ථයක්
හා නමක්
නොමැති වී ඇත...





Wednesday, February 17, 2016

පෙම් කරන ගස්



කාලයාගේ ඇවෑමෙන්
අප සිටවූ
ප්රසිද්ධ, නිවුන් පොප්ලර් ගස්
හැඩි දැඩි වී ඇත...

සියුම් ජල බිදිති වාෂ්ප කරන අතරම
සිහින් හඩින් ගී ගයන අතරම
අකුණුවලට තිගැස්සෙමින්
අපේ මතකයන්ගේ දෝංකාර
සහ
ප්රේමනීය සිපගැනීම්
සගවාගෙන සිටිති...

දැන් බොහෝ දෙනා පැමිණ
මේ ගස්වලට
අයිතිවාසිකම් කියති...


* * * * * * * * * * * * * * *
අතහැර දමමි 

* * * * * * * * * * * * * * *

නුඹ නැතිව මට තනියෙන්
ඒවා රැකිය නොහැක...

නමුත්

වාසනාවක මහත !

අප දෙදෙනා
තවත් නිවුන් පොප්ලර් ගස්
සෑහෙන ගණනක් සිට වූ බව
කවුරැත්ම දන්නේ නැත !





Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Thursday, January 21, 2016

නුඹ වෙන් වූ දා....

එදා...
වෙරළට ගොඩ ගැසූ
මියගිය තල්මසා
බැලීමට බොහෝ පිරිසක්
පැමිණ සිටියා...



Wednesday, January 20, 2016

අබ මල් රේණුවක්...






නුඹෙ, තෙතැති
නෙත් කෙවෙනි මත
වැතිරෙන්න මට
ඉඩහරින්න,
දහස් වර දෙඩුවා
මතකද නුඹට....

නුඹ දකින හැමවිටම
ප්‍රේමයම මතක් වන ලෙසට
වෙනස් කර ගතිමි
අකීකරැ සිත මම...

මට වැරදුනාවත් ද
නුඹගෙන් එසේ අසන්නට
මා ලාච්චුවකට සමාන කළ
අවැසි විට අරින
අනවැසි විට වසන...

උන්මත්තක ද මම
බොල් නදක් ඇති
හදක් ඇති නුඹ
මට කූටාලු වෙයි සිතන්නට...

* * * * * * * * * * * * * * *

වැස්සක් වහින විට
පියස්සට පියඹති
හැම කුරුල්‌ෙලාම,
එත් ගිජුළිහිණියෝ
පියඹති වළාකුළෙන් ඉහළට...
එහෙව් ගිජුළිහිණියකු
වන්නට අවැසිය මට....


Wednesday, January 13, 2016

මම නුඹට අනුලෝමව සමානුපාතික වෙමි...



මම
කිසි කෙනෙකු තුළින් කිසිකෙනෙකු 
නොදකිමි.
මන්ද,
මා ඔවුන් 
විනිවිදින නිසාවෙනි.

* * * * * * * * * * * *

ඇතැම්විට,
සමහර මිනිසුන්ට 
මා සමීපවන වේගයට 
හා සමාන වේගයකින් 
මම
උන්ගෙන් ඈත් වෙමි...
ඇතැම්විට,
උන් මා ප්රතික්ෂේප / අමතක / නොසලකා හරින / වෙන උන් ලොකු කරගන්නා 
වේගයට වඩා වේගයෙන් 
උන් වෙත ළං වෙමි.....


* * * * * * * * * * * *

නමුත්,
එසේ ළං වුණත් / ඈත් වුණත් 
නුඹට වැදගත් 
බොහෝ දේ/ බොහෝ දෙනා/ පදාර්ථ අතර
නොවැදගත්ම ජීවියා මා යැයි පසක් වූ
මේ විප්ලවීය හැන්දෑවේ,
නුඹෙන් වෙන්ව යමි.
සදහටම.


පාපොච්චාරණය



අර බලන්න,
කළුකුහරයක්
තාරකාවක්
ගිලගන්නා හැටි!

* * * * * * * * * * * *

තරැවක් මියැදෙන කොට
ඉන් නික්මෙන එළිය
ආලෝක වර්‌ෂ ගණනාවක් විත්
අපේ ඇස්වල වදින කොට
අපි හිටියේ
සාන්ත අන්තෝනි මුනිදුගෙ
පල්ලියේ පඩිපෙළ ඉදිරියේ වූ
සදකඩ පහන දිහා බලාගෙන.

නුඹ හිතුවා මේ එළිය
ජීවත් වෙන තරැවක
දීප්තිමත් කිරණ කියල

* * * * * * * * * * * *

මදිනා කන්දේ
පහළම සානුවේ
තේ පදුරැවලින් වටවූ
පෙද පාසි බහුල
ගල් බිත්ති මත,
ගෝනුස්සන් වාසය කරන
අපේ පල්ලියෙ කොඩිගස
සහ ඝණ්ඨාර කුළුණ
පිරිපුන්ව වැඩුණු
පොප්ලර් ගස් දෙකක් මෙනියි
හැමවිටම නුඹ කීවා...

ඒ දෙසම බලාහුන්
අල්තාර ඉටිපන්දම්
නුඹත් මාත් ගැනම සිතමින්
දිය ව ගියා...
ජීවිතේ ගෙවූ
අතිශයින්ම මිහිරි වූ
තත්පර ගණනාවක වග
මේ ඉටිපන්දම් එළි
ඝණ්ඨාර කම්පන තරංග
කල්වාරි කන්ද ‌ෙතක් ගෙන ගියා...
මට තාම මතකයි
නුඹේ සිනිදු'මුත් උණු
ඇගිලි තුඩු
ම'පපුවේ කුරැසිය අඳින හැටි
මට කියා දුන්නා....


නුඹේ තියුණු කටහඩ
ඔරසන්වලට යාතිකාවලට
හරිම සිනිදුවට
ගැලපෙන හැටි
මං ඈතට වී
දණ ගසාගෙන බලා හිටියා...
තාමත් අසා සිටිනවා,
මගේ ජීවිතයේ 
එන එන සතියක් 
ඒ කටහඩින් ඔපවත්වන
ඉරිදායින් පටන්ගන්නවා...

* * * * * * * * * * * *


පල්ලිය පිටිපස්සෙ වූ
දැවැන්ත ඇහැල ගහ යට
මිනී පිච්චෙනවාට විරැද්ධව
මගේ පියතුමා නුඹේ පියතුමාට
ගතු කීවා...
මගේ පියා බිල්ලන්ට නතු වුණා
නුඹේ පියා නුඹත් අරන් අතුරැදන් වුණා
ඒ වෙනුවට
අලුත් පියතුමෙක් ආවා....


* * * * * * * * * * * *

තාමත් මම 
නුඹව සොයමින්
පල්ලියක් පල්ලියක් 
ගානෙ යනවා...
ඒ හැම පල්ලියකම 
අල්තාරය මත
නුඹ දියවෙනවා 
මට පේනවා !




පදාර්ථිකයන්...

පදාර්ථිකයා...