අර බලන්න,
කළුකුහරයක්
තාරකාවක්
ගිලගන්නා හැටි!
* * * * * * * * * * * *
තරැවක් මියැදෙන කොට
ඉන් නික්මෙන එළිය
ආලෝක වර්‌ෂ ගණනාවක් විත්
අපේ ඇස්වල වදින කොට
අපි හිටියේ
සාන්ත අන්තෝනි මුනිදුගෙ
පල්ලියේ පඩිපෙළ ඉදිරියේ වූ
සදකඩ පහන දිහා බලාගෙන.
නුඹ හිතුවා මේ එළිය
ජීවත් වෙන තරැවක
දීප්තිමත් කිරණ කියල
* * * * * * * * * * * *
මදිනා කන්දේ
පහළම සානුවේ
තේ පදුරැවලින් වටවූ
පෙද පාසි බහුල
ගල් බිත්ති මත,
ගෝනුස්සන් වාසය කරන
අපේ පල්ලියෙ කොඩිගස
සහ ඝණ්ඨාර කුළුණ
පිරිපුන්ව වැඩුණු
පොප්ලර් ගස් දෙකක් මෙනියි
හැමවිටම නුඹ කීවා...
ඒ දෙසම බලාහුන්
අල්තාර ඉටිපන්දම්
නුඹත් මාත් ගැනම සිතමින්
දිය ව ගියා...
ජීවිතේ ගෙවූ
අතිශයින්ම මිහිරි වූ
තත්පර ගණනාවක වග
මේ ඉටිපන්දම් එළි
ඝණ්ඨාර කම්පන තරංග
කල්වාරි කන්ද ෙතක් ගෙන ගියා...
මට තාම මතකයි
නුඹේ සිනිදු'මුත් උණු
ඇගිලි තුඩු
ම'පපුවේ කුරැසිය අඳින හැටි
මට කියා දුන්නා....
නුඹේ තියුණු කටහඩ
ඔරසන්වලට යාතිකාවලට
හරිම සිනිදුවට
ගැලපෙන හැටි
මං ඈතට වී
දණ ගසාගෙන බලා හිටියා...
තාමත් අසා සිටිනවා,
මගේ ජීවිතයේ
එන එන සතියක්
ඒ කටහඩින් ඔපවත්වන
ඉරිදායින් පටන්ගන්නවා...
* * * * * * * * * * * *
පල්ලිය පිටිපස්සෙ වූ
දැවැන්ත ඇහැල ගහ යට
මිනී පිච්චෙනවාට විරැද්ධව
මගේ පියතුමා නුඹේ පියතුමාට
ගතු කීවා...
මගේ පියා බිල්ලන්ට නතු වුණා
නුඹේ පියා නුඹත් අරන් අතුරැදන් වුණා
ඒ වෙනුවට
අලුත් පියතුමෙක් ආවා....
* * * * * * * * * * * *
තාමත් මම
නුඹව සොයමින්
පල්ලියක් පල්ලියක්
ගානෙ යනවා...
ඒ හැම පල්ලියකම
අල්තාරය මත
නුඹ දියවෙනවා
මට පේනවා !