Pages

Tuesday, July 23, 2013

නිදන්න ! එළිවෙන්න තව කල් තියෙයි...

ෂ්... ෂ්... ෂ්...
පළගැටියනි
කෑ නොගසන්න,
ඉතින් ඈ ඇහැරෙයි...
තොල් පොටවලින් මොනවදෝ
මුමුනමින්
මගේ නිල්මිණ
ම'උකුලේ නිදයි.


තවම රෑ දෙකයි
පාන්දර එළියට තව දුරයි
නිදන්න !
එළිවෙන්න තව කල් තියෙයි.

කන් පෙත්තෙන් පහල
ආසාවට.. හීනියට.. හපනවිට
නින්දෙන්ම ඔලුව වනමින්
රස්නෙ හුඟාරියක් පිට කළවිට
අනේ මා උකුල
හිමාලය කර දෙන්ට
පුලුවන්නම්... නුඹට.

හා...  හා...  හා...
එපා අස් අරින්න
මට නුඹ තුළට
කිමිදෙන්න.. ඉඩදෙන්න..
නුඹඇඟේ රස්නය හැකි පමණ
මට උරා ගන්නට ඉඩදෙන්න.

රස්නෙ හුස්මක් පිටකර
නුඹේ හිස මගෙ උකුලට
කඩාවැටෙන විට
මහා රූස්ස ගසක්
කියතකින් හෙලන
හඬ මට ඇසේ
බර මට දැනේ...

කම්මුලක් රත්වෙනකොට
මූණ හරවා අනෙක් කම්මුල
මාරු කරන නුඹේ මූණ
මා කවදත් කැමති
මුහුදට සමකරමි...
පටහැනි නොවුණත් මගෙ හිතට
හඳට නුඹ හොරෙන් පෙන්වමි.


නින්ද ඕනෑ වුණත් ම'නෙතට
නිදි වරමි. නුඹ නිදි කරවමි.



මට පේන මානයෙන් එපිටට
හඳ ඈත්ව යයි...
කමක් නෑ රත්තරන්
නිදියන්න  ! එළිවෙන්න තව කල් තියෙයි...

උඳුපියලිය මතට බාන
පිනි වැස්ස
නුඹේ හිරිගඩු පුප්පන විට,
තව තවත් පටු වී
මා උකුලට කූටාලු වන
මේ ආත්මීය අලුයම !
කවදාවත් නොගෙවේ නම්...







 





 







 

Friday, July 19, 2013

පව !


ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...

මලකුණ විකුණුවා මං
රන් ව්‍ ඇට හතරකට...



ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...

රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...


අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...



මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...

ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...




එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?







 







Wednesday, July 10, 2013

අහම්බෙන් වගේ...

ඉපනැල්ලේ පිදුරු බිම්මලක
පුසුඹ දැනෙන විට
රබර් කට්ටියේ තට්ටයට
හඳ, එළිය වක්කරන විට
වඩදිය පොල්රුප්පාවම
තෙමන විට
ඔබ සිහි වුණා
අහම්බෙන් මට...

ගුල් හැදුනු බිත්තියේ
කටුමැටි
කුරුටු ගාමින් සිතුවිලි
මුදාහැරී හැටි
බිඳෙන ලුණු රළ
මුමුණනා හැටි
සිහිවේ මා කවියෙක් වූ හැටි...

කිරි කවඩි ඉහිරෙන
ඒ මුහුදු වෙරළේ
තාමත් රුවල් ඔරු
දියඹ හා නැටවේ 
ඩෙල්ටාව පසු කරන
හැම, නේක වාරේ
මගේ මතකයේ
දිය බුබුළු නැංවේ...






[ගඟ මුහුදට වැටුණු තැන...]



Monday, July 1, 2013

චීන මැටි බඳුන







ඒක,
චීන මැටි බඳුනක්
ටැංග් රාජ වංසයට අයත්.

මට ලැබුණේ
කිමිදෙද්දි
මම රිංගපු
මුහුදුබත් වූ
බ්‍රාවෝ වර්ගයේ
නැවෙන්.

ලොකු කටගැස්මක් නෑ...
මහා ලොකු පෙනුමකුත් නෑ...

ඒත්,
සමහර තැන්
හරිම ගොරෝසුයි
සමහර තැන්
හරිම සුමුදුයි
බොහෝ තැන් හරිම සුමටයි...


ඇතීනා ගේ  ද
දන්නේ නෑ.

මගේ අතපයට හරියන
හන්දිවලට දරා ගන්න ඇහැකි
උඩ  දාල අල්ලන්න හැකි
බිම දිගේ රෝල් කරන්න පුළුවන්
අතේ එල්ලන් යන්න පුළුවන්
කරේ තියන් යන්න පුළුවන්
විදිහේ බඳුනක් ඒක.

ඇරත්,
මට හිතෙන්නේ
කකුල් දෙක මැද්දේ උනත්
තියාගන්න පුළුවන්.

නමුත්,
හරිම පුදුම වෙනසක්
ඒකෙ  තියෙනවා...

අඳුරෙත් ඒක දිලිසෙනවා.
හරියට,
බැස්කවිල් දඩ බල්ලාගේ
ඇස්වල ගාපු
පොස්පරස් වගේ.

උඩ දාල අල්ලල
සෙල්ලම් කරන්න හිතෙනවා
බිඳුනත් කමක් නෑ  කියල,

හැබැයි බිම වට්ටලා නෙමෙයි.

ඒක
වටිනවා...
ඊටත් වඩා
එක හරියට,
වේලාසනින් ආපු නැති
වසන්තයක් වගෙයි !


* * * * * * * * * * * * * * * * * * *

 චෑහ් ! 
මං  නැති ටිකේ
චීනෙක් ඇවිත්
ඒ මැටි බඳුන
ගෙනිහින්... 










 















පදාර්ථිකයන්...

පදාර්ථිකයා...