ඉපනැල්ලේ පිදුරු බිම්මලක
පුසුඹ දැනෙන විට
රබර් කට්ටියේ තට්ටයට
හඳ, එළිය වක්කරන විට
වඩදිය පොල්රුප්පාවම
තෙමන විට
ඔබ සිහි වුණා
අහම්බෙන් මට...
ගුල් හැදුනු බිත්තියේ
කටුමැටි
කුරුටු ගාමින් සිතුවිලි
මුදාහැරී හැටි
බිඳෙන ලුණු රළ
මුමුණනා හැටි
සිහිවේ මා කවියෙක් වූ හැටි...
කිරි කවඩි ඉහිරෙන
ඒ මුහුදු වෙරළේ
තාමත් රුවල් ඔරු
දියඹ හා නැටවේ
ඩෙල්ටාව පසු කරන
හැම, නේක වාරේ
මගේ මතකයේ
දිය බුබුළු නැංවේ...
[ගඟ මුහුදට වැටුණු තැන...]