Pages

Wednesday, April 9, 2014

සුනාමියට පස්සෙත් මං තාමත්...

              මං දැන් මැරෙන්න බයයි.
ඒත් පොඩි එකා ජීවිතේට එන්න කලින් එහෙම නෑ. කෝච්චියේ එල්ලිගෙන යනවා. නවත්තන්න කලින් කෝච්චියෙන් පනිනවා. අද්දන බස් එකේ එල්ලෙනවා. ගැංසි බැහැල මරා ගන්න යනවා. ඒත් එක්කම ගැඹුරු මුහුදෙ පීනනවා.
අමු ජීවිතේ ගත කරන කවුරුවත් මැරෙන්න බය නෑ මං හිතන්නෙ... සුනාමියත් මට මුහුද ගැන මාරාන්තික හැඟීමක් ගෙනත් දුන්නා.

            සුනාමියට පස්සෙත් මං තාමත් ආස අළු පාට හාෆ්ශීට් කොළයි ඔරෙක්ස් පෑනයි අරගෙන වැල්ලෙ ඔරුවකට පිට දීල වාඩිවෙලා හිතේ තියෙන හැමදේම ඒවගෙ ලියන්න. රැයක් දවාලක් නෑ. කොටින්ම වඩදිය බාදිය ගැනවත් දැනීමක් නෑ. ඒ අතරෙ නැව් සිය ගාණක දහස් ගණන් එළි මා දිහා බලන් ඉන්නව...

           වැස්ස වෙලාවට මුහුදෙ නාන එක, එක අතකට භයානක වුණත් ඒක හරිම ආස්වාදජනක වැඩක්. හිරිපොද සිරි සිරි ගාල මුහුදට වැටෙන කොට හරිම අපූරුයි. විශ්වාස කරන්න ඒ පුංචි වැහි බිඳු වෙරළට වැටෙන කොට හීන් හඬක් එනවා. ඒ වගේමයි මුහුදු රළවලට වැටිල බිඳෙන කොටත් අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන හඬකුත් පෙනුමකුත් රළට එනව...

          වැස්ස වහිනකොට මුහුදු රැළි තරමක් උසට නැගෙනවා. සාමාන්‍යයෙන් අපේ ඉනවටක්  තරමට ගැඹුරක ඉන්නවනම් කරවටක් ගිලෙන තරමට ඉස්සෙනවා. ඒ වගේම රැළි කැරකෙන්නත් පටන් ගන්නවා. මං ඒ සිදුවීම්, ඒ කියන්නෙ මුහුදට වහින සිදුවීමට කියන්නෙ "තෝර වැස්ස" කියල. මොකද අම්ම සමූපකාරෙන් ගෙනාපු තෝර පරිප්පු ටික ගොට්ට ලිහල වතුර එකට හලනකොට එන සද්දෙ තමයි වැහි බිඳු මුහුදට වැටෙනකොට එන්නෙ...

          ගොඩගසන රැලල්ක් රැල්ලක් ගානෙ මුහුදු වෙරළෙ මුහුද හා ගැටෙන දාරය කන්‍යාවක් වෙනව කියල මට හිතෙනව. හැම අලුත් රැල්ලක්ම ඇලුත් වැලි අහුරු ගණන් අරන් තමයි ගොඩට එන්නෙ. ඈත පළාත්වල මිනිස්සු ආසාවටත්, කොහේහරි ඉන්න කට්ටඩියෙක් ගුරුකම්වලටත් මේ කන්‍යා මුහුදු වැලි අරගෙන යනවා. අපේ සීයත් ඉස්සර දවසක කන්‍යා මුහුදු වැලි ගන්න ඕනෙ හැටි නුවර පුංචි අම්මට කියල දුන්න.රැල්ලක් ඇවිල්ල ගියාට පස්සෙ ඒ රැල්ල නොපාගා මුහුද පැත්තට හිටගෙන ඒ කියන්නෙ ගොඩබිමටත් මුහුදටත් පිටු නොපා පැත්තට හිඳගෙන ඉන්න තැනම කකුල් තියල කකුලට අඩියක් විතර ඉස්සරහ තියෙන වැලි තමා ගන්න ඕනෙ...

කොහොම වුණත් මට මුහුදත් එක්ක තියෙන මතක සටහන් අප්‍රමාණයි.

පොඩි කාලෙ ඉඳන් මං ඇඳපු බොහෝ චිත්‍රවල තේමාව වුණේ එක්කෝ මුහුදු වෙරළක්. නැත්තම් වැසි දිනයක්. පළමු තේමාව යටතේ ඇඳපු චිත්‍රවල මුහුද දෙසට ඇදී ගිය, එකිනෙක හා හරහා ගිය (වැඩි කිරීමේ ලකුණ මෙන්) පොල් ගස් 5ක් 6ක් තියෙනව. ඔරුවක් තියෙනවා. කාක්කො දෙතුන් දෙනෙක්
(අද ඇන්දනම් වැහිළිහිණි ) ඉන්නවා. ඔය අතරෙ මුහුද දෙස බලාගෙන සිත්තරාට (මට ) පිටුපාගෙන දිග කොණ්ඩ කරලක් තියෙන, චීත්ත ගවුමක් ඇඳගත්තු කෙල්ලෙක් පොල් ගසකට හේත්තුවෙලා ඉන්නවා...

ඒ චිත්‍රය (චිත්‍ර ) කාලානුරූපීයව ලස්සනයි. එත් අවාසනාවකට ද්විමානයි...








පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.