Pages

Friday, September 20, 2013

මෝයට කිලෝමීටර භාගයක් දුරින්...


ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.


කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
          "මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
           එක්කො,
           1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
           නැත්නම්,
           2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "

මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....

ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.


ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
          "3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."

මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින්  රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.


ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.




ප. ලි.
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]







    
මා ධාරාණිපාත වරදක් කළා...

1 ට වඩා 2
විශ්වාස කළා,
1 ට පස්සෙ 2 
කියල
අමතක කළා.

...කළා වරදක් ධාරාණිපාත මා
















Tuesday, September 10, 2013

පළිගැනීම

                   
 16.08.2013
කළු ගංමෝය...
රාත්‍රී 10.00

තරු අඩු, කණාමැදිරියන් වැඩි රැයක්!

                යෙ අඳුර වැටීගෙන එන වෙලේ මං ගියා මුහුදු වෙරළට. අවුරුදු ගාණකට කලින් ඇය මා දමා ගිය තැනට. මං ගියෙ හිස් අතින්, කොන්ඩෙ පීරමින්. මුහුදු හුළං සැරට මගේ කෙස් එහෙ-මෙහෙ වෙන්න පටන් ගත්තා. එදා, ඈ මා දමා ගිය දවසෙ මට පේන පේන හැමදේම එහෙ-මෙහෙ වෙන්න ගත්ත. කෙස් කෙළින් වුණා. සම මතුපිට තිබුණ රෝම ස්තරය පිච්චෙනව වගේ දනුන. ඒ ගඳ ආව.
                එදා, මහ මුහුදට හොඳටම තරහ ගියා. එකක්, එයාගෙ වතුරෙ ලුණු රහ ගැන එයාට ලැජ්ජ හිතුන හින්ද. අනික, වෙනද වගේ මං මුහුද දෙසට පීනගෙන ගිහින් එයාගෙ කන්‍යාභාවය අහෝසි නොකරපු නිසා. එදා, මහ රෑ වඩදිය ගලනකං මගේ ඇඟිළි තුඩුවල කන්‍යාභාවය නං අහෝසි වුණා.මගේ කටේ දත්වලින්. අන්තිමට අඟිළි තුඩු ඉදිමෙනකන්ම.
            අවුරුදු 13ක් ගත වුණා. අද වනතුරුත් මහ මුහුද, එයාගෙ කොට සායවත් මගේ හංපඩ ඩෙනිමවත් දක්කෙ නෑ.
                   අදත් මුහුදට හොඳටම තරහ ගියා. මොකද, මං එයාව බලන්න හිස් අතින් කොන්ඩෙ කසකස ගිය නිසා. ඇය හිතුවෙ මං ගල් බෝතලයක් හරි මොනා හරි රට බීමක් අරන් එයි කියල. ඒ වැඩේ වැරදුනා. වෙනදට වඩා සැර රැළි මගෙ ඔළුවටත් උඩින් ගියා. කන් දෙකම වැලිවලින් පිරුණා. වෙනද කකුලෙ හැපිච්ච ගල් මාළු, සිප්පි වෙනුවට ඉකිරියොයි, බෙලි කටුයි මට වද දුන්නා.






කමක් නෑ...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...








 
  

Wednesday, September 4, 2013

අතහැර දැමීම...

නිල්පාට පියළි ඇලවූ
කඳු පන්තියේ
උසම කඳු මුදුනට ගිහින්
බිමට දමන්නට කලින්,
තව වරක්වත්
සිතන්නට තිබුණා නුඹට
ඒ වීදුරු බෝලය ගැන, හිතින්...


සුමට වීදුරු හදන්නෙ
රළුම රළු
කළුම කළු
උණුම උණු
වැලිවලින් කියල
නුඹට අමතකයි.

ඒක එහෙමයි,
පස්සෙ ලස්සන ගොඩක් දේ
හදන්න කලින්
අමුයි, රළුයි, ගොරහැඩියි...

කාගෙ ආරකින් ද මන්දා,
නුඹෙ වැඩේම උනේ
වීදුරු බෝලෙ
නාභිය සෙවීමයි...
ඒ නාභි දුර සූත්‍රයක දමාගෙන
ළතැවුලේ බර සෙවීමයි...
බැරිම තැන,
බිඳ බලන්නට තැතනීමයි...

දැන් තේරෙනව ද?
අපාරගම්‍ය නො'පණ
වීදුරු බෝලයකට වුව ද
ගැහෙන හදවතක් තියෙන්න පුළුවනියි...




සුදු ආලෝකය
වෙන් කළත්, නො'කළත් වර්ණ හතකට
පාට විභේදනය කළත් නුඹේ හැඟීම්වලට
ඒ වීදුරු බෝලය
දන්
කුඩු වී ගිහින්...








පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.