Pages

Tuesday, June 21, 2011

පහතරැටියාගේ උඩරට සිතුවිලි

කුරුටු ගාන C R  පොත
පිටු අංක 22




පහතරැටියාගේ  උඩරට සිතුවිලි
 


කුමක් හෝ කාරණයක් උඩ මා උඩරට රාජධානියට අතිශය සමීප බව මගේ මස්තිෂ්ක තරලවලට හොඳින් දැනේ. 
 එනමුත්, මා උඩරැටියන්ට විහිළු කරන්නේ 
" උඹල තමයි සිංහල ජාතිය පාවා දුන්නේ " යනුවෙනි. 
මඟුල් මඩුව අශික්ෂිත තැනක් සේ මට හැඟුණත් මට එය බලන්නට ආසය.
කෘත්‍රිම බෝගම්බර වැව අපේ කරපික්කඩ වැවට සාපේක්ෂව ශිශුවකු වුවත් එය බැලීමට ආසය.
වැවේ බැම්මෙන් හැරී උඩහට යද්දී අමුතු හැගීමක් දැනෙන්නේ. හරියට කාලෙක ඉඳන්  හුරුයි  වගේ.
ඇතැම් අවස්ථාවල උඩරටට ඇතුළු වන ඇතැම් කපොලු ළඟදී මගේ රෝමෝද්ගමනය වෙයි.


මේ විරුද්ධාභාසය කුමක් දැයි තෝරා බේරා ගන්න නොහැකි වූ තැන මාගේ උපකල්පනය වූයේ, එක්තරා ජන්මයකදී මා උඩරට රාජධානියේ වාසය කර ඇති බවයි.
ඇතැම් දිනවල කඩුගන්නාව පහුකරන විට දකින කඳු වලල්ල උඩරට ශ්‍රී විභූතිය මගේ රස නහරවලට කාවද්දයි. ඒවා මට හුරුවාක් මෙනි. කඩු සටන් මතක් වෙයි. දුනු හී  මතක් වෙයි. උඩු කය නිරුවත් යෝධ මස්පිඩු ඇති සිරුරක් මතක් වෙයි. ප්‍රතිකාලුන්ගේ තොප්පි හා තුවක්කු බට මතක් වෙයි.


 කෙසේ නමුත් මේවනවිට මම උඩරැටියන් සමග ලෙයින් මිශ්‍ර වී හිඳිමි.


මේ හැමදේමත් එක්ක දෙවැනි රාජසිංහ රජුගේ ප්‍රශස්ති ගායනා ද මට මතක් වෙයි. ඔහුගේ ශ්‍රී විභූතිය සහ තේජස වර්ණනා කිරීමට ලියූ "ශ්‍රී නාමය" හි සඳහන් මේ ගායනා අපූර්වත්වයකින් මා ප්‍රහර්ෂයකට ගෙනයයි.
(මේවා ගායනයේදී ගස් ගල් පවා සන්සුන්ව රජු වෙත පක්ෂපාතී වුයේ යයි උඩරට වැසියෝ කියති.)



සීත සුළං සමගින් පිපි මල් ලොව
මිහිරි සුගන්ධ ඔතා සුවසේ
ඇත වනන්තරයේ සිට පාවෙන
ගීත අසා කොවුලා සුවසේ...



දෑත වනා ලෙලවා බඳ කෝමල
ලාලනයෙන් ඇදෙමින් සුවසේ
ගීත ගයන්න ගයා සැනසෙන්න
වසන්තිය ලාලනියේ සඳසේ...



චන්දනා ගරු පංක විලේපන
වීන්දනා නාමෙන් කියතා පා
බන්ධනා නිල්වන් දද  මින්සිරි
නන්දනා විඳිමින් සුරකී පා... 





පුංචි විස්තර ටිකට මගේ නෝනට ස්තුතියි !

Monday, June 20, 2011

s = U t + 1/2 a tª

 අපි හදමු බෝට්ටුවක් !

෴    ෴     ෴ 

මං හැදුවා ඔරුවක්
මං විතරක් !

එක රුවලයි
එක කොල්ලෑවයි 
ඒකත් කොට්ටම්බා කොටයකින්....

ඈ කිව්වා යමු කියා
ඒ ඔරුවෙන් හඳට
නෑ... ප්ලුටෝ වෙත
ප්ලුටෝගෙන් ඈත්ව
ඊරෝස් වෙත
අඩුම තරමින්
ඒ ළඟට...

ආලෝක වර්ෂ තුන්දාහක වේගෙන් 
මං කඹරුවා හබලෙන්
පුරා අවරුදු හතරක් ...

බැලින්නම්
අවරුදු හතරකට කලින්
මගේ ඔරුවෙන්
කොල්ලෑව ගලෝගෙන
ඇ යන්න ගිහින් ...
කොල්ලෑව ගලවගෙන ගිහින් ...

මගේ ස් වූවා දීප්තිමත්
ක්ෂණික අකුණක් මෙන්...

වැටුණා ඇගේ ඔළුවට
ඒ අකුණේ උණු වතුර
පෙරලා ඒ මග දිග
ඇ එව්වා මට
වැරදුණු සූත්‍රයේ යතුර

s = U t + 1/2 a tª


s -  ආදරයේ මාත්‍රාව
u -  හැගීම්

t -    කාමය
a -  ප්‍රාග්ධනය
 

Thursday, June 16, 2011

ආටිමිස්



ආටිමිස්


වරක් පොසොන් සඳ
රත්තිගේ ගොම ගොඩට
එළිය දෙන විට
මා  නුඹේ ගැබේ සිටියා
තුන් මස්ව...

ගිං  ගඟේ පතුලට වැදී
එ'සඳ කිරණ පරාවර්තනය වී
පැමිණ දැවටුණාදෝ මන්දා
කටු අකුලක
හිතෙනවද නුඹට....

කහට අඹ මල්
නිමක් නැතිව පා කරන
බෝල් හුළං පහරක
රැඳුණු මගේ ඇසේ තෙත
කණාමැදිරි එළියට
දිළිසෙනවාද නුඹට...

දිය බන්ඩි දණ්ඩට 
ගල් කූර පැරදෙන විට
කළු ගඟ පාමුල
කිරල මුල් අතරෙ හිඳ
අයෙත් දෙවරක් චක්කරේ උගන්වන්නට
ඕනෙද නුඹට....

වාරකන් කාලෙටත් ලැබෙන
කාසිපෙත්තන් බැදල
හබුරු දලු මාළුවක් එක්ක
අනල කවන්නට
ආසයිද නුඹට...

දැදුරු ගංතෙර මෙපිටට
කොටු වුණු අපේ රොටිතැටි ලොවට
උඩින් වැනෙමින් තිබු
හද්දින්නත්  තරු
ගණන් කර කර 
ගණන්  කර කර
හතෙන් වැඩ්  කර
හිතෙන් රත් කර 
මම  තනපු
මගේ ඇමීබා ලොව
දෙවෙනි ඇටිකිත්තාගේ කටින් 
අච්චාම්මා.. අච්චාම්මා... යි ඇසෙනවාට
කැමතියිද නුඹ...

කාසි ඇලුණු ලෑන්මාස්ටරයේ
කටු කටු රෝදවලට
තැලී පොඩිවී යන
නුඹේ නිදිකුම්බා ලොව මත
ටයර් කට්ට විතරක්මයි
හිතෙනවාද  නුඹට...

ගෙන්දගම් ගඳට විරුද්ධව
දුම් ගසමින් පදම් කළ
රබර් රොටි නැති
හඳේ ආවටවල
නුඹ ඉන්නවා ඇතියි
හිතෙනවා මටද

හැකරල්ලකුටවන් කකුල් දාහක් ඇති
නුඹේ හිතුවක්කාරකමට
ගිගුරුම් දුන්නත් මම

   ආදරෙයි ! ආදරෙයි ! මැරෙනකම් නුඹට ......   


                

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...