
පිටු අංක 07
එච්. ආර් ජෝතිපාලයන්ගේ උපන්දිනය දවසේ මට මතක් වුණේ මර්වින් පෙරේරා. ඇයි දන්නෑ.. ඒත් එහෙම වුණා.
මේ මගේ කුරැටු ගාන CR පොතේ සුපිරි ගායකයෙක් නොවුණු අසහාය ගායක මර්වින් පෙරේරා ගැන කාබන් පෑනෙන් ලියවුණු අදහස් බිදක්. (ඔහුට කැමති අයට)
...සංගීතවේදියකු වෙනුවෙන් මගේ දෙනෙතින් කදුළක් වැටුණු, හිත දුකින් පිරැණු (ජීවිතයේ වසර 25කට) එකම අවස්ථාව වුණේ මර්වින් (පෙරේරා) සර්ගෙ මරණය අහපු වෙලාවට පැය 10-15ක් ගිය පසුවයි. නිදිය ගන්න ගිය මොහොතෙ මා හැගුම් බර වුණා.
මා කලක් විශ්වවිද්‍යාල සිහිනයක පැටලුණු කෙනෙක්. ඒ නිසාදෝ "මේ නගරය..." ගීතය මගේ හදවතේ ගැඹුරැම තැනෙක ඉදන් සතියකට වරක් දෙවරක් ස්පන්දනයකින් ගායනා කෙරෙනව. ඒ සිංදුවේ එකදු අත්දැකීමක්වත් යථා ජීවිතයේ මා විද නෑ. මා දන්නා තරමින් සර්ටවත් නෑ. මා ඔහුට සර් යැයි පවසන්නේ ඔහු ඥානෝදයේ සංගීත ගුරැවරයා වූ නිසා නම් නොවේ. මගේ ජීවිතයේ අපූරැ රසාලිප්ත මොහොතවල් හදුන ගන්න ඔහු මට බෙහෙවින් උදවු කළා. සංගීතයෙන්. මට වඩා ගව් ගණනක් දුර ඉදිරියෙන් සිටිමින්.
දවසක් අපේ නිවෙස ඉදිරිපිට තිබූ සුනාමි නිවාස පෙළේ වූ නත්තල් උළෙළකට ඔහු පැමිණියා.ඔහු බීගත් තරම, දෙදෙනකුගේ වාරැවෙන් තමයි වේදිකාවට නැග්ගේ.ඔහුගේ ගීත ආදරෙන් අසා සිටි මා ඔහුට දීර්ඝායු පැතුවා. එය සවිඥානකව වූ ප්‍රතීක ක්‍රියාවක් බව මට හොදට මතකයි.
පියවි ලොව තුළ කොපමණ ගීත ඇසුවත් නින්දත් අඩ නින්දත් අතරෙ අභූත ලොවේ මා තනිවෙද්දි මා වටා සිටින කලාකරැවන් පිරිසක් අතරින් ඔහුට නිතරම මුල් තැන ලැබුණා. මගේ ආදරය ඔහුට ලැබුණා. ම දන්නා තරමින් ඔහුට (සංගීතය කණට ඇසෙන පමණින්)මධුර හඩක් තිබුණේ නෑ. නමුත් ඔහුගේ හඩ තියුණුයි, පරිකල්පිතයි, හැගුම්බරයි.මුහුදු රළ වගේ නැගෙනවා.බිදෙනවා. මේ සියලු ගුණාංග අතරින් මා වැඩිපුරම කැමති වුණේ ඔහුගේ හඩේ තිබුණු හැගුම්බර ගතියටයි.ඒ හඩේ එල්ලුණු කිනිතුල්ලකු වගේ ලේ සුගාරියක් බීල වැටිල ඉන්න මට හිතුණු වාර අනන්තයි.
සර් ගැන බොහෝ දෙනා කීවේ "බෝතලයක් දුන්නම සිංදු කියන ගායකයා"කියලයි. ඒ සර්ව පිටින් බලල උත්තේජනය ලැබූ අය. එහෙම කියන අයම ඔහු "ඔබ දේදුන්න ආකාසයේ..." කියන විට ඉල ඇට කැඩෙනකම් නටන ආකාරය මම දැකල තියෙනව. ඔහු කිතුණුවකු වුවත් ඔහුගේ අදහස් තුළ නිවන ගැන මතයක් තිබුණා. හද සන්තානය තුළ කරැණා දයාව පීප්පයකටත් වැඩිය පුරවා ගෙන තිබුණා. සමහර දාට දුම්රියපොළ පාරේ රා පීප්පයක් පෙරළගෙන ටොක ටොක ගගා යන මිනිසකු කීවේ "සද මිදුලට එනවා" ගීතයයි.
ඔහු තමා වටා සංගීත අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තකු නොවේ.දක්ෂ ගිටාර් හා වයලීන් වාදකයකු වූ ඔහු මුදලට වහල් නොවූ බව නම් හැමෝම දන්නවා. බෝතලේට යනවා කියන්නේ බේබදුකම නොවෙයි ඔහු අවංකයි. ඒ අත්දැකීම මා විදල නෑ.
ඔහුගේ තනු නිර්මාණ තුළ මානව සංහතියට දැනෙන යම් යම් දේ තිබුණා. ඇතැම් ගීතයක සරල තනු අතරේ කැරොල් ගීවල රිද්මය රැදී තිබුණා.ඔහු හොද වාදකයෙක් නිසාත් පල්ලියේ සම්බන්ධතාව නිසාත් එසේ වන්නට ඇති.
මා දිනකට මුමුණන ගීත හත අටකින් අඩුම තරමින් තුනක්වත් සර්ගේ. ඒ ඇයි දැයි තාමත් නොතේරේ.ඔහුගේ ගීත වෙනස් කර ගයන්නටවත් හිත නොදේ.
ඔහු වාමාංශිකයකු බව ඔහු මිය යන තුරැම මා දැන සිටියේ නෑ.ඔහුගේ ඒ අදහස් හැගවෙන ගීතත් නැති තරම්. සුනිල් මාධවයන්ගෙ "ජීවිතය සුන්දරයි.." කොලමෙ දුටු පසුවයි ඔහු වමේ කෙනෙක් බව මා දැන ගත්තෙ. ඒකෙන් ඔහුට මගේ ආදරය තවතවත් වැඩි වුණා.
අහෝ! ඔබ තවත් වසර 6ක් වත් සිටියා නම් මගේ දරැවත් ඔබට ආදරය කරන්නට තිබුණා...