නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?
හරිම අපූරැයි එය...
"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත
පිච්චෙනවාමයි කොහොමහරි ... "
නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....
අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...
ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...
* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *
අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...
අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම
නියමතයි පිච්චෙන්ට
අද ඉදන්...